Saturday, April 30, 2011

ලෝකය ලංකාව තුළ පිහිටා තිබීම

අප දන්නා සහ අප ඉගෙන ගත් ආකාරයට ​ලංකාව ලෝකයේ තවත් එක් රටකි. නූතන තාක්ෂණ සමග රටවල් අතර භූ ගෝලීය දුර නව තාක්ෂණ මාධ්‍යන් ඔස්සේ වඩාත් අවම විය. ඒවගේම රටක් ලෙස මේ ගෙවමින් සිටින කාල සමය තනිව වැජඹිය හැකි කාලසමයක් නොවේ. ඒ නිසාම ලෝකයේ අනෙක් රටවල් සමග සහබද්ධව ආර්ථික දේශපාලනික හා සාමාජීය හුවමාරුවක් තුළ පවතින්නට සිදුව ඇත. එසේ නොපවතින කිසිදු රටකට අද දවසේ පැවැත්මක් නැත. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ සමහර ළිං ගෙඹි මාධ්‍ය කියනා ආකාරයට චීනය සහ ඇමරිකාව කිනම හෝ මොහොතක ලෝක බලවතුන් වීමේ යුද්ධයකට පැටලෙයි යැයි කල්පිතයක සිටියද එය කිසිදා සිදුවන්නක් නො​වේ. මන්ද චීනයේ සහ ඇමරිකාය එකිනෙකා මත යැපෙමින් තම පැවැත්ම තහවුරු කරගන්නා හෙයිනි.

ජාත්‍යන්තරයේ තත්ත්වය එසේ වුවද මේ නුදුරු දිනකදී අලුත් මතයක් ලෝකය ඉදිරිපත් විය. ඉන්දියාව දකුණු දෙසින් පිහිටා තිබෙන, ආසියාවේ පුදුමය වන්නට යාථාර්තවාදී නොවන හීනයක සැරිසර රාජ්‍ය හෙවත් ශ්‍රී ලංකාව වෙතිනි. ඒ ලෝකය පිහිටා තිබෙන්නේ ලංකාව නම් වූ දුපත තුළ බවයි. ඒ නිසාම මෙහි පාලකයන් සිතන්නේ ලෝකය සමග ගනුදෙනු කිරීම කිරිකජු කනවාටත් වඩා සරල පහසු වැඩක් කියාය. ලෝකය පිහිටා ඇත්තේ ලංකාවේ ඒ නිසා අපි අපිට ඕන දේවල් කරන්නේ. ලෝකය කවුද අපි කවුද??? එවැන් ගංගොඩේ චන්ඩි පාට්දමන්නටත් අප රාජ්‍යය සමත් වී ඇත. කාලෙක සිට ඔවුන්මේ චන්ඩි වදන් ලංකාවේ පුරවැසියන්ට කියන ලදී. අතීතකාමයෙන් අග තැම්පත් ලංකා රාජ්‍ය  බලාසිටින්නේ අනාගතය අහසින් වැටෙන තුරුය. මානවයා වෙනුවෙන් සැලසුම් සැදිය යුතු රටක් සැලසුම් නිර්මාණය යවන්නේම පාලකයන්ගේ දේශපාලනික ව්‍යාපෘතීන් පුම්බා තැබීම වෙනුවෙනි. ඒ නිසාම පාලකයන්ට අනුව අපට වඩා පොරවල් ලොවේ කොතනකවත් නැත.

මේ සුරංගනා කථා සියල්ල තරගයට ගිරවුන්මෙන් කියන්නට හොදම අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සිදුවූ යුධ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ වාර්ථාව හරහා මෙරට පාලක පන්තියට අවස්ථාව ලැබී ඇත. වාර්තාවේ සදහන් කරුණු වලින් වැඩක් නැත. එවා අධ්‍යනය කරන්නට හෝ මේ වාර්තාව එළියට එන්නේ ඇයිද කියා අවශ්‍ය තැත. ලංකාවේ අයියලාට අනුව ඒවා වැඩි වැඩය. ලෝකය තිබෙන්නේ මේ භූමිය තුළ නිසා මේ වාර්තා සෑදීම හරහා කර තිබෙන්නේ වැඩිවැඩකි. අපිට උපදෙස් දෙන්නට ලෝකයේ පොරවල් නැත. කොටින්ම අපිට වඩා පෙරවල් මේ තුන්ලෝකෙම නැත. අපි ජනාධිපතිවරයා ජනමූලය. බුලත් විට කයි. සරම ඇදන් ගමේ ඇවිදී. හිටපු ගමන් මල්පැලයක් මුලට මුතෘද කරයි. උඩු රැවුලක්ද ඇත. ලෝකයේ ජනමූල නායකත්වය මොඩලයක් අවශ්‍යනම් මෙන්න එයද ​ලංකාව තුළ තිබේ. තෙල් මන්නාරම් දුවයේ ඇත. හම්බන්තොටට කස කස ගා නැව් එයි. කොච්චියෙන්නම් කොච්චියෙන් බස් එකෙන්නම් බස් එකෙන් විනාඩි 30 න් මාතර. ඒ විතරක්ද සී ​ප්ලේන්. කන්න එමට ය. නයිට් සිටි. රෑට ලාස් වේගාස්ය, දවල්ට බැංකොක්ය, මෙතරම් දෙවල් කොතනත් නැත මේ සියල්ල බලාඉන්නට බැරිව අගේ ඉදන් කන කනවා මෙන් ලෝකය කරන්නේ ලංකාවේ පිහිටා සිටිමින් ලංකාවට මඩ ගැසීමය. අනම්මනම් වාර්තා ඉදිරිපත් කිරීමය. මේ මැයි පළවැනි දිනය ලෝකෙම හෙල්ලෙනට දෙන්න සූදානම්ය. මේ අධිතාක්ෂණික සයිබර් යුගයේ ලංකා රජ්‍ය ලෝකයට හෙල්ලෙන්න දෙන්න සූදානම් වන්නේ ගැල්වනයිස් බට වලින් සෑදූ වේදිකාවක්මත සිටය. සූදානම වාර්තා සුළගේ ගසාගෙන යන්නට වැඩේ දෙන්නය.

ලංකාවේ වර්ථාමාන රජතාන්ත්‍රික හැසිරීම එලෙසය. සංවාද , විකල්ප , යෝජනා , ආදිය වැනි ඩවාත් ඵලදාරී දෑ ජනමූල නායකයන්ගේ හමස් පෙට්ටිවලට පටවා ඇත. ඒ වෙනුවට ගමේ ගොඩේ චන්ඩි පාට් ක්‍රමවේදයක් වෙත යොමු වී ඇත. එය සිදුවීම අනිවාර්යයෙන් බලාපන්න ඇත්තේ ලෝකය පිහිටලා තියෙන්නේ ලංකාවේ නිසා අපි මොකටද සීලාචාර වෙන්නේ.

කෙසේ වෙතත් මෙ වාර්තාවත් සමග ලංකාවේ ක්‍රමවෙදයන්ගේ නිරුවත එළදැක්වෙමින් පවතී. සත්‍ය කථාවනනම් පාලකයන් විසින් ලංකාවේ රෙදි ගලවමින් සිටී. සිම්බාබ්බේ, සුඩානය , උතුරු කොරියාව වැනි අසාර්ථක රජය්‍යන්ගේ මුලසුන ගැනීමේ තරගයට ලංකාව දැන් පැමිණ ඇත. හැබැයි මිනිසුන් තවමත් ලෝකය ලංකාව තුළ පිහිටා  ඇත යන ෆෑන්ටසියේය.

Tuesday, April 12, 2011

සයිබර් අවකාශය තුළ "පොරවීම"

"පොරවීම"
ලංකාවේ ඉන්ටර්නෙට් මාධ්‍යක් ලෙස ක්‍රියාත්මක වීම අතිශය ජනප්‍රිය වූයේ මේ දශකයේ මැද බාගේදීය. එතෙක් සයිබර් අවකාශය පැවතියේ සුඛෝපභෝගී පරිභෝජනයට ගැනෙන මාධ්‍යක් ලෙසය. නමුත් සන්නිවේදන ආයතන අතර පවතින අතිදැවැන්ත තරග කාරීත්වය නිසාම එය සම්පූර්ණයෙන් සාමාන්‍යකරණය වීය. රටක දියුණුවට එවැනි මාධ්‍යක් සාමාන්‍යකරනය වීම ඉතාම යහපත්ය. අන්තර්ජාලය හරහා අතිසුවිසල් දැනුම් හුවමාරුවක් සිදුවන නිසාම ලංකාව වැනි වූ දූපත් රාජ්‍ය තුළ වීශ්වීය මිනිසා බිහිකර ගත හැක්කේ මෙවැනි විශ්වීය දැනුම් නියැදියන් සාමාන්‍යකරණය වීම හරහාය. ඒ නිසාම මේ සාමාන්‍යකරණය වීම අති සුන්දරය.

නමුත් ප්‍රශ්ණය පවතින්නේ ලංකාව වැනි අසංවර්ධිත සමාජයක් පවතින රටවල් තුළ අන්තර්ජාලයෙන් ලබාගත හැකි මුක්‍ය දැනුම පසෙකලා තමන්ට අහිමි වූ අනන්‍යතා ඒ ඔස්සේ සෙවීමට යෑමයි. විශේෂයෙන් ෆේස් බුක්වැනි මානව ජලයන් තුළ තමා වෙනුවට සයිබර් අවකාශ තුළ නිර්මාණ වන තමා හරහා තමන්ට නැතිවූ අනන්‍යතාවය ආරෝපණය කරගැනීමට උත්සහ දැරීම බහුලව දැකිය හැකිවේ. සාමාන්‍ය වි්‍යවහාරික වදනයෙන්ම කියනවානම් මම විසින් මා පොරක් කරගැනීමේ නිර්ලැජ්ජිත උත්සහයේ නිරතවීමයි. එක පැත්තකින් තමන් තෘප්තිමත් කරගැනීමට උවමනාවට වඩා ඇති අපේ වැනි රටවල මෙය පුදුමයට කාරණයක් නොවේ. නමුත් මේයින් මතුවන අර්බුදය අනන්‍යතා ආරෝපණය කරගැනීමට යාම ඔස්සේ තමන්ගේ තමන් යුයෝතපියාවටම රැවටීමයි. එතැන් සිට තමන්ට තමන් අමතක වී නිරන්තරයෙන් ඉහත කී පොර ක්‍රියාත්මක වෙයි.

මෙය සමාජ විද්‍යාත්මක සාමාජය තුළ අර්බුද ගණනාවක් මතුවීමේ විභවයක් මේ වනවිට පෙන්වයි. ෆැන්ටසියෙන් යථාර්ථයට පැමිණිවිට ඉහත අර්බුදයට ගොදුරුවූවෝ තමන්ගේ සෑබෑ අනන්‍යතාවය යථාර්ථයේදීද අමතක කර ජීවත්වීමට උත්හස දරති. දැන් ලංකාවේ සමාජය ගෙවමින් සිටින්නේ එවැනි කාල සමයකි. කාලයක් හන්දි හන්දි ගනේ රස්තියාදුවෙමින් හන්දියේ යන කෙල්ලන්ගේ පස්සවල් දිහා බලමින් සිටි අයියලා එක් රැයකින් හමුදාවට බැදී දේශප්‍රේමීන් බවට පත්වූවාක් මෙන් වැලේ වැල් නැතිව සිට අයියලා සයිබර් අවකාශය ඔස්සේ එක් ක්ෂණයකින් පොරවල් වී ඇත. ඔවුන් පොරවල් වී පමණක් නොව උඹලා පොරවල්ද යනුවෙන් අනෙකාගේන් ප්‍රශ්ණ කිරීමට පවා ඔවුන්ගේ මනෝ විකාරය දැඩිවී ඇත.

මේ නිමේශය වනු විට ඔවුන්ට අනුව ශ්‍රී ලංකා මාතාව නිදහස් කරගැනීමේ සටන ඇත්තේ සයිබර් අවකාහයේය. ඒ නිසා මේ සයිබර් පොරවල් නැතිනම් සයිබර් දේශප්‍රේමීන් කුමක් හෝ වචන ටිකක් ගෙන හතර අතට වනමින් සිටී. ඇත්තෙන්ම ලංකාව බේරාගත යුත්තේ මෙවැන් මේ පොරවල් කියාගන්නා පිරිස්වලින්ය. කලක් අනගාරික ධර්මපාල වැන්න ජාතිවාදය ලංකා භූමියේ වැපිරුවා මෙන් මොවුන් දැන් ජාතිවාදය සයිබර් අවකාහයේ වපරමින් සිටී.

ඔවුන්ගේ මේ විකාරරූපී ස්භාවය නිසා සාමාන්‍යකරණය වූ මහා දැනුම් නිදය ඔහේ අපතේ යමින් පවතී. ඇත්තෙන්ම ඔවුන්ට පිළිතුරු දීම කාලය අපතේ යැවීමක් මිස තර්කාන්විත සංවාදයක් හරහා යමක් ඉගනීමට අවස්ථාව නොවේ....

Monday, April 4, 2011

රාජපක්ෂ හෙජමොනියට බූන්දි තිත්ත වීම ...

අද ලංකා නිවුස් වෙබ් අඩවිය හෙළිකරන්නේ බූන්දි නම් කලා සහ සංස්කෘතික වෙබ් අඩවිය කෙරෙහි ආණ්ඩුවේ විශේෂ අවදානයක් යොමුකළ යුතු බවයි. රාජපක්ෂ පාලනය වෙබ් තමන්ගේ මතවාදී නොවන සියල්ලට ඉව ඇල්ලීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැතත්, බුන්දියට ඉව ඇල්ලීම වඩාත් පුළුල්ව විග්‍රහ කරගත යුතුවේ. එය විශේෂ වන්නේම එය තවත් එක් ප්‍රවෘත්ති හෝ ඕපාදූප වෙබ් කලාපයක් නොවීමයි. බූන්දියේ ගණුදෙනුව ඉහමොළ සමඟිනි. ඔවුන්ගේ සියලු විග්‍රහයන් පාදම වන්නේ කලාවයි. ඒ සඳහා ඔවුන් විසින් අවකාශයක් නිර්මාණය කර තිබෙන අතර ඒ හා විශාල පිරිසක් බුද්ධිමය හුවමාරුවක යෙදී සිටී. කව්‍ය රචනා, දේශපාලනික විග්‍රහයන්, සමාජීය විග්‍රහයන් කලා මනයෙන් විග්‍රහ කිරීම නිසාම විශාල පිරිසක් වෙත ඉතා ළෙන්ගතුව බැඳී සිටී.

බූන්දිය කරන්නේ කුමක්ද???

බූන්ද කෑමක් ලෙසින් ගත් කළ ඉතාම පැණිරස දෙයකි. සයිබර් අවකාශය තුළදී බූන්දියේ කාර්යභාරය වන්නේ මිනිසුන් දෘෂ්ඨිවාදයේ ගිලෙමින් අමතක කර සිටිනා යථාර්ථයේ තිත්ත පැණිරස දවටනයක තවරා මිනිසුන්ගේ යථාර්ථයේ දෘෂ්ඨිය  නිවැරදිව මානගත කිරීමට උත්සහ දැරීමකි. රාජපක්ෂ ආණ්ඩුවට අනුව මේවා වැඩි වැඩය. දෙන දෙයක් කා වෙනදයක් බලා නොඉඳ ඔවුන් කරන්නේ අවට නිදා ඉන්න උන් අවදි කිරීමේ ඓතිහාසිකව අමතක කර දැමූ කාරණාවකි. ඇනෙක් කාරණාව බුන්දිය පුළුල් සාමූහික ක්‍රියාදමයකි. ලංකාව තුළ සාමූහික එලඹුම් රාජපක්ෂ ආණ්ඩුවේ අවසරයෙන් තොරව එලැඹීම දඩුවම් වැඩිය හැකි වරදකි.

බරපතලම කාරණාව  සමාජ සන්දර්භය සම්බන්ධව  පවතින වූ තම විවේචනය තමන්ගේ කවියෙන් , නාට්‍ය, සිනමාව, කෙටි කථාව, නවකථාව හෝ ඕනෑම මාධ්‍යක් ඔස්සේ  තම ආත්මීය වූ ප්‍රකාශණයකින් ආමන්ත්‍රණය කරන්නන් පිරිසක් බූන්දිය වටා ගොනු වී සිටීමයි. පාලකයන්ගේ දැක්මට අනුව එය බරපතල අභියෝගයකි. සැබෑම අභියෝගයකි. ඒ නිසාම එය වටා සමාජ ගොනුවක් නිර්මාණය වන්නට පෙර නැතිනම් සයිබර් අවකාශයේ ක්‍රියාකලාපය බිමට බැසීමට පෙර  මුලීක තලයේදීම නවතා දැමිය යුතුය.

අපි කුමක් කරන්නේද??/

බූන්දිය තර්ජන ගර්ජන එද්දී එහි සහෘදයනන් ලෙස අපට  භාවිත කරන්නට විකල්පයන් දෙකක් තිබේ. එක්කේ මේ නිෂ්චිත නිමේෂයේ ලාංකිකයා මෙන් නිදි වගේ බොරුවට නිද්‍රාශීල වියයුතුය. නැතිනම්  සිද්ධවන්නවා වූ අමනදෑ සම්බන්ධයෙන් තමන්ගේ හෝ සාමුහික ව්‍යායාමයක් වෙනුවෙන් ප්‍රවිශ්ෂ විය යුතුය. බොහෝදෙනෙක් තෝරාගන්නේ පළමු එළඹුමනම් එය තවදුරටත් පවත්වාගෙන යාමේ අතිශය අවශ්‍යතාවය පිළිඹිබු වේ. ඒ කියන්නේම බුන්දියට තව කරන්නට බොහෝ දේවල් තිබෙන බවය. මේ ඇරඹී ඇත්තේ පිචාසයන්ගේ හෝරාවයි. ඒ නිසාම බොහෝ අවදියෙන් සිටි මොහොතයි.

අද බූන්දිය හෙට?????