Friday, October 21, 2011

විටින් විට - ටිකෙන් ටික - වෙනත් වෙනත් බෝල බැස්සීම

දැන් සියල්ල සිදුවී හමාරය. ඡන්දයද හමාරය. භාරතද හමාරය. මාධ්‍ය සරඹද හමාරය. ඒ නිසා දැන් සියල්ල උන්නාන්සේගේ අතේය. උන්නාන්සේ රටේ මහරජානෝය. ආඩම්බරකාර තාත්තාය. දියසේන කුමරුය. නීතියද ඔහුය. ඒ නීති සියල්ල ඔහුට උවමනා ආකාරයය. සාක්කි ඇතිකිරීමත් ඔහුය. සාක්කි නැතිකිරීමත් ඔහුය.

මේ රටටම දැන් සැලට් එකකි. මාරම සැලඩ් එකකි. සාක්කි කාරයෝ ස්භාවික මරණවලට ගොදුරුවෙති. තවත් සාක්කි කාරයෝ දිව අනෙක් පැත්තට හරවති. භාරත ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු මුලින් කීවේ මන්න මෙහෙමයි.


"දුමින්ද සිල්වා මහතා සියයක් පමණ පිරිසක් සමඟ මෝටර් රථ 20 කින් පමණ පැමිණි බවත්, පසුව ඔහු මෝටර් රථයෙන් බැස පළමුව භාරතගේ කම්මුලට අතින් ගැසූ බවත්, ඉන් පසුව ඔහුගේ අතේ තිබූ පිස්තෝලයෙන් භාරතට වෙඩි තැබූ බවත්, අනතුරුව ‘භාරතට වෙඩි තියපන්’ කියා පැවසූ බවත් සමන්ගේ කටඋත්තරයේ සටහන්ව ඇත."

http://lankacnews.com/sinhala/news/29826/


මෙසේ තිබුනේ වෙනත් වෙබ් අඩවියක තිබුණානම් මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ කියන්ට තිබුණි. මෙය තිබෙන්නේ ආණ්ඩුවට නොසෑහෙන්න සුපර්මාකට් යන ලංකා සී නිවුස් අඩවියේය.
 මුල කටඋත්තරයේ තිබුණේ එලෙසය. නමුත් බෝල සමන් කියන්නේ දුමින්ද වෙඩි තබනු තමන් නුදුටු බවයි. අදාළ උන්නාන්සේලා විසින් බෝල සමන්ගේ කටට වෙනත් බොලයක් බැස්සා ඇත. තවටික දිනකින් දුමින්ද එතැන නොසිට බවටත් බෝල බස්සන්නට පුළුවන.

මේ බෝල බස්සන්නේ කාටද?

මේ බෝල සියල්ල බස්සන්නේ නීතියයේ ක්‍යාභාවයටයි. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් උන්නාන්සේලා කඩේ යවන්නේ රටේ නීති පද්ධතියයි. භාරත ගැන වෙනත් දේශපාලන විග්‍රහයක් ඇතත් පුරවැසියෙක් වශයෙන් ඔහුට සාදාරනයක් අනිවාර්්‍යයෙන් අවශයය.

නමුත් නඩුත් බඩුත් කුඩුත් බෝලත් උන්නාසේලාගේ රටට ජනතාවට දෙයියන්ගේම පිහිටය.

Monday, October 17, 2011

අපි නොදන්න බබානිස්.....

"තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නට ඕනම කෙනකුට හැකියාවක් ඇතත් එකී ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ තමන් විසින් බවත්,එය ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය."


ජනාධිපති නව පාලාත් පාළන නියෝජිත හමුවේදී ප්‍රකාශ කරයි
------------------------------------------------------------------------------------------------------

ඔව් අපි එය දනිමු.අපේ ආරක්ෂාව එතුමාට කොපමණ වටින්නේදැයි දනිමු. ඇයි ඒ විතරක් යෑ එතුමා ජාතියේයම සංකේත පියයාය.... තේරෙන්න කියනවානම් ආඩම්බරකාර තාත්තාය. එතුමාගෙන් ලැබෙන ආරක්ෂාව ප්‍රශ්ණ කිරීමට අපි මොක්කුද??

දැන් බලන්න එතුමා උතුරට ආරක්ෂාව දෙන හැටි. කුගනාදන්ගේ අත කැඩුවා..ඊට පස්සේ සිසු නායනයෙක්ගේ ඔළු පැලුවා. ඇයි ඒ විතරක්ද??? 40,000 දාහක් සාන්ත සුවයට පත්කලා. තමන්ගේ ​සුවච කීකරු​ ගෝල බාලයෝ  ටික දාලා. ලසන්ත ...අහ් ලසන්තට සදා සැනසීම දුන්නා. ප්‍රගීත්ව සියල්ලෙන් ආරක්ෂාකරලා තබාගෙන සිටිනවා.තවවවව භාරත ගැනත් බැලුවා.

ඊට අමතරව එතුමා ​මේගොල්ලන්ට කොපමණ ආරක්ෂාවක් දුන්නද?? මේ ඔක්කොම දැන් අපේ රටේ කෝටිපතියෝ වෙලා ඉන්නේ ඒ නිසා. නැද්ද මං අහන්නේ දැන් බලන්න ජැක්සන් ඇන්තනි, විමල් වීරවංශ එතකොට පාඨලී චම්පික, රතන උන්නාන්සේ...බලන්න මේ ඔක්කොම කොච්චර ආරක්ෂාවෙන් ඉන්නවද කියලා.

ඉතින් මේ සුද්දො කවුද ජනාධිපති උන්නාන්සෙන්ගේ  දෙමළුවන්ට ආරක්ෂාව දුන්නේ මෙහෙමද කියලා අහන්න. නේද?? එතුමා දැන් ප්‍රසිද්ධියෙම් කියනවානේ. සුදු කොඩි උස්සන් ආපු ගමන් සුදු රෙදි පොරෝලා යැවුවේ. කවුද එහෙම කරන්නේ ඒ උතත්මය ඇරෙන්න.අපේ පොඩි එකා බාලචන්ද්‍ර...ඒකව අ​යේ මුල ඉදලා මොන්ටිසෝරි යන්න එක්කරගෙන ගිය එතුමා. සුද්දෝ මොනවද දන්නේ...

නැත්නම් තුනෙන් දෙකක් දෙයිද මං අහන්නේ...ආහ් දෙමුකෝ උත්තර... බලන්නකෝ එතුමගේ ආදරේ උතුරනවා..දරුවෙක් පෙන්න බෑ වඩාගන්නවා. හරි ෂොක්නේ. කවුරු කවුරුත් ඉක්මනට එතුමට කථාකරන්න. ආරක්ෂාව ඉල්ලගන්න...හැබැයි ප්‍රශ්ණ කිරීම තහනම්.


මත​කනේ ප්‍රශ්ණ කිරීම තහනම්

Friday, October 14, 2011

උපුටා ගැනීම - මුද්‍රණය වන්නට තිබෙන ජාතික පුවත් පතකිනි



පසුගිය දින මුල්ලේරියාව අංගොඩ පුදේශයේ දී වෙඩි වැදී භාරත ලක්ෂමන් ප්‍රේමචන්දු මහතා මියයාමය හේතුව මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන ඈත. පසුගිය කාලය පුරා මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ ඝාතන, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සහ එකී මෙකී නොකී සියලු නීත්‍යානූකුළ වැඩ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවෙත නියෝග කර ඇත්තේ කිසිදු තැකීමකින් තොරව කොයි එයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි. ජානධිපති මහින්ද රාජපක්ෂ මහාතද පොලිස්පති වරයාට විශේෂ නියෝගයක් මේ සමබන්ධව කර ඈත.

එම නියෝග ලද විගස ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් පැය 24 ක් තුළ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා තිබේ. එහදී අනාවරණය වී ඈත්තේ භාරත ලක්ෂමන් ප්‍රදේශයේ සිදුවන නීත්‍යානුකූල නොවන සියලු දෑ පසුපස සිටින්නා බවයි. ඉන්පුස් වහාම ක්‍රියාත්මක වූ විශේෂ පොලීස් කණ්ඩායමක් විසින් කොලොන්නාව භාරත අත්අඩංගුවට ගෙන ඈත. ඉන්පසු වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා රහස් පොලීස් අංක 4 කාමරයට රැගෙන ආ අතර එහිදී කළ ප්‍රශ්ණ කිරීම් වලින් අනාවරණය වී ඈත්තේ මුල්ලේරියාව අංගොඩ , වල්පොල ප්‍රදේශයේ ආයුධ රැසක් සගවා ඈති බවයි.

ඉන්පසු වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ආරක්ෂක ලේකමවරයා හා සම්බන්ධ වෙනමින් ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළහ. එය මැතිවරණ දිනයක් බැවින් යම් කළබලකාරී තත්ත්වයක් ඈති වේවිදැයි සැකයක් පොලීසයට තිබූ බැවින් පොලිස්පතිවරයා ජානධිපතිවරයි අමතමින් සිද්ධිය සමබන්ධයෙන් දිගින් දිගටම පැහැදිල කළහ. එහිදී ජනාධිපතිවරයාගේ උපදෙස් වූයේ ආරක්ෂක ලේකම් වරයාගේ නියෝග ක්‍රියාත්මක කරන ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව ක්‍රියා සිටියේ වරදකරුවන්ට කිසිදු සමාවක් නැති බවත් ඉතා ඉක්මනින් සගවා ඈති ආයුධ සොයාගන්නා ලෙසය.

ඒ අනුව දැඩි ආරක්ෂාවක් යටතේ භාරත ලක්මන් නොහොතේ ලකී අයියා අංගොඩ වල්පොල ප්‍රදේශය වෙත ගෙනයන ලදී. එසේ ගෙනයද්දී එක්තරා තැනකදී (ආරක්ෂක හේතූන්මත තැන හෙළිකළ නොහැකිය) වාහන පොළ නවතා ආයුධ වළලා ඈතැයි කියා කෙසෙල් පදුරක් පෙන්වීය. ඒ මො
හොතේ තම ප්‍රදේශයේ මැතිවරණ නිරීක්ෂණයේ පැමිණි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා එතැනට පැමිණ ඈත.භාරත දුටු සැනින් සලිත වී ගිය දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පෙලීසියට පවසා ඈත්තේ අපේ ජානධිපති උපදේශක තුමාව කවුරුන් විසින් හෝ මේ සිද්ධියට පටලා ඈති බවයි. එතැන සිටම ඔහු ආරක්ෂක ලේකම් වරයා ඇමතීමට උත්සහ කලද දුරකථනයේ අනෙක් පසින් ලැබී ඇති පණිවුඩය වූයේ "ප්‍රතිචාරයක් නොමැත... පසුව අමතන්න"යන්නයි.නමුත් දුමින්ද සිල්වා මහතාගේ බලපෑම මත පොලිස් නිළධාරීන් විසින් භාරතගේ අත්මාංචු ඉවත් කර ඈත. ආයුධ තිබෙනවායි කී තැනට දුමින්ද සිල්වා මහතාද පැමිණ ඈත. කෙසෙල් පදුරක් අස්සේ ආයුධ තිබෙනවායි කී භාරත නැමී එයින් T56 වර්ගයේ ස්ව්‍යංක්‍රීය ගිනි අවියක් ගෙන අතර අතට වෙඩි තැබීය. ඉන් උණ්ඩ දෙකක් අසල සිටි දුමින්ද සිල්වා මහතගේ හිසපසාරු කරගෙන ගොස් ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය තම සහ දුමින්ද සිල්වා මහතා​ගේ ජීවිත ආක්ෂාව පාතා වෙඩි තබා ඇත. එ අනුව එතැනදීම භාරත මියගොස් ඇති අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ජයවර්ධන පුර රෝහලට ඇතුලත් කර ඇත.

එම පුවත් පතේම ඇතුල පිටුවකින් උපුටා ගන්නා ලදී


දේශයේ චිරස්ථිය උදෙසා තරුණ නායකත්වයක් සැපයූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට සෙත්පතා අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ නාහිමිවරු බෝධිපූජා​ පවත්වති. රටට පුරාම දුමින්ද සිල්වා මහතා ගේ සුවය පතා සත්‍යග්‍රහ පවතවයි.

තරුණියන් දහසක් දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් කිරිවෙහෙරට සුදුනෙලුම් දහස් පූජාකර ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.



Sunday, September 18, 2011

පිටුවහල් කවියා වෙත ලියමි





ඔහු මා දෙස දෑස් නොසොල්වා බලා සිටී. ඔහු ලියූ අකුරින් අකුර මා සමඟ දොඩමළු වෙයි. ඒ අතරින් මට ඔහු ව පෙනේ. කැරලිකාර ජීවිතය දරා ගෙන තදින් කැරළි ගැසුණු කොණ්ඩය සමඟ ඔහු මා ඉදිරියේ ඉඳ කථාව පටන් ගනී. ගැහෙන හදවත ඔහු මට ගලවා පෙන්වයි. නැවත ඔහු තුළම එය සඟවයි.

ඔහු මගෙන් ප්‍රශ්ණ කරයි.

මම කියවන්නේ කවිය යි. ඔහු කියවන්නේ මාගේ හෘදයේ ගැඹුරුම තැනයි, මගේ දෑසේ ගැඹුරුම අන්තයයි.

ඔහු මා ඉදිරිපිට සුදුම සුදු හිස් පුල්ස් කැප් කොළයක් තබයි. එහි මෙසේ ලියයි.

"මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි.
ඒ මත ලේ පැල්ලමකි.
එය කවියකි.
ඒත් එය දෙමළෙනි.
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි. '
'

ඉන් පසු ඔහු යළිත් මගෙන් ප්‍රශ්ණ කරයි... ඉදින් අප, ලිවීම නවතා දැමිය යුතු ද?

ප්‍රශ්ණය මා මත තබා ඔහු අකුරු අතරම සැඟවෙයි. දැන් මම ඔහු වෙතට ලියමි. මම නැවත නැවත ඒ ප්‍රශ්ණයම මගෙන් අසමින් ඔහු වෙත ලියමි. මම ඔහුට ලියන මෙහි, මේ ලියමනේ අග මුල මැද ගැළපීම් නොසොයන්න. අගක් මුලක් නැති ජීවිත ගැන ලියද්දි, මොකටද මුල මැද අග එකට පිහිටා මුසාවට ලියන්නේ. උඹට හිතෙන තැනකින් කියවපං. මේ ලියමනම අයිති උඹට.

පිටුවහල් කවිය,

මම ආසයි උඹට සහෝදරයා කියනවට වඩා "මචං" කියන්න. උඹටයි මටයි එකට ගල් උගුරක් බී සිගරැට් උගුරක් අදින්න. ඒ ආමන්ත්‍රණය හදවතට කිට්ටුයි. සහෝදරයා කියන වචනය කීතු කීතු වලට ඉරා දැමුවා කලකට පෙර සහෝදරවරුම එක්ව. මට මතකයි උඹ ලියනවා මෙහෙම, ඒ සහෝදරයෙක්ට ම.

උදුල සඳ මඩළ සැතපුන හිරගෙදර
කඳුලු සියුමැලි ද රිදුණිද හද මඩළ
පතල අරගලය වියැකුණ රෑ කලෙක
දෙමළ සොහොයුරිය ගැන ඇයි කලබලය

සිහින පෙරමුණට හැබැහින් වෙඩිවැදුන
දාක කඳුළු පෙල ගැහුණයි මග දිගට
මහණ දමක් ලෙස රැකගත් රතු කොඩිය
කාගේ ලෙයින් රතු වී දැයි අමතක ද


ඒ කඳුළු වල දැන් අයිතිකාරයෝ ගොඩයි. කඳුළකට පොළොව බදා ගන්න දෙන්නෙත් නැති තරම්. බාස්කට් රැගෙන සහෝදරවරු බරට වැඩ, කඳුළු එකතු කරන්න. උඹේ පපුවයි, පෑනයි එකට කෑගසන හඬ දෝංකාර දෙනවා අකුරක් අකුරක් ගානේ කියවද්දි. ඒත් වැඩක් නෑ මා මිතුර, බොහෝ දෙනෙක් කට සහ කණට අගුලු ලා තවම. ඒත් උඹ දුක් වෙන්න එපා. කියවන එවුන් නැතුවාමත් නොවෙයි. කවි, උඹේ හෘද සාක්ෂිය. මේ ලිපිය, මගේ හෘද සාක්ෂිය. වෙලාවකට පිහියකින් හාරනවා හෘද සාක්ෂිය හොය හොයා මගේ හදවතේ ගැඹුරුම තැන්. ඊළඟ මොහොතේ උපරිමයි කවි ගතිය. බිඳුනු සිහිනය ගැන උඹ ලිව්ව කවිය, තවම මොර දෙනවා මගේ කරණශංඛයේ කොණක. මම ආසයි ඒ කවියේ අන්තිම පැදි පෙළ ආයේ උඹටම ලියන්න.

වේදනාවෙකි හදවත
කල්පනාවෙකි මුහුණත
බිඳුණු වැව පතුළත
නො බිඳුණු සිහින කැටපත....


සිහිනය බිඳගන්න එපා කිසි දිනක. මමත් තවමත් ආදරෙයි ඒ සිහිනයට. ඒත් සිහින දකින සමනලුන්ට මේ බිමේ ඉඩ නෑ. එහෙත් අතහරින්න එපා ඒ සිහිනය. ඒ නොමළ, නොබිඳි සිහිනය. උඹ දන්නවද සිහින දකින එවුන් ඔක්කොම පිටුවහල් කලා මෙ බිමෙන් සියලු දෙනා එකතුව. එකෙක් දෙන්නෙක් තවමත් ගුහාගතව ඉන්නවා, කෙහේ හරි මුල්ලක. දවසක වෙලාවක අපි එකතු වෙමු. ගල් බෝතලයක් දෙකක් අරගෙනම. බයිට් එකට උඹ මොනවද කැමැති? තියෙනවා බං කථා දහසක් කියන්න.

කනයා තවමත් එහෙමයි. ඌ තවමත් අපි එක්ක. ෂිකරැට් බාගේ අදින්න, උගේ ආයුෂත් අපිට පුදන්නයි සූදානම. කවුරුත් දැක්කද දන්නේ නෑ, උඹේ පොත් දෙද්දි උගේ අතට, කනයගේ ඇසේ කඳුලක් දිලිසෙනවා පැනගන්න බැරිව. ඌටත් ඕන වුනේ කෑගහල අඬන්න. ඒත් හැමදාම වගේ, කනයට වුණේ අනුන්ගේ හිනාවට ප්‍රීති හිනාවක් දෙන්න. උඹට කියන්නේ මොකටද ආයේ කනයා ගැන.
ඒ තමා කනයා.

අපිටත් මංච කියනා
අපිත් මචං ම කියනා
මචංවරයෙකි කනයා
ඌ අපිට පණ වුනත් දෙනවා ...
කියලා... ලියලා... පිදුවට කනයට, කිසි පවක් නෑ උඹට.

උඹ එවූ ලියමන වන්නියෙන් මටත් එව්වා. ඔහේ වගේ ශීත සෘතු නැති වුණාට මෙහෙට... මරණයේ හීතලට ඝණවෙලා මුළු වන්නියම. උඹේ කඳුළු ගලන අකුරු පද කියවන්න බෑ මට වෙලාවකට. බොඳ වෙනවා. මගේ ඇස්වල කඳුළු වලින් උඹේ අකුරු බොඳ වෙනවා. ඒත් උඹ කිව්වා වගේම,

වදන් වැල සැකෙවින් ගොණු කරන්නේ කොහොමද
නිවන් මඟ සැතෙකින් නො රිදවන්නේ කොහොමද
දුරින් හිඳ සැණෙකින් ළඟ රැදෙන්නේ කොහොමද
ඉතින් අපි සැබැවින් හමු නොවන්නේ කොහොමද


අපි හමුවෙයි බං... ගසට ගසක් මුණගැසෙන්න මොරටුවවත් තිබුණට, මිනිහෙක්ට මිනිහෙක් මුණ ගැසෙන්න එක බිං අඟලක් නැති එක තමයි අවුල. ඒත් අපි බලා ඉමු.

උඹට මහන්සිනම් කමක් නෑ, පස්සේ කියවපං. දඹකොල පටුන දැන් අයිති යකඩ සපත්තු රෑනට. උඹේ යාලුවාගේ ගෙදර විතරක් නොවෙයි, යාපනේ අඹ ගසත් නෑ. ඒක තිබුණත් වැඩක් වෙයිද මචං. (ඔන්න මම උඹට පළවෙනි පාරට මචං කිව්වා... හොඳ හුස්මක් ගනිං) ඒ අඹ ගහේ ගෙඩි වල රස, ලේ රහ වෙලා ඇති. ගෙපැල තිබුණු තැන දැන් මහා හෝටලයක්. දඹකොළ පටුන දොහොත් මුදුන් දී වැඳගන්න, දකුණෙන් එන ඇත්තන්ට හොඳ හැටි සැප ගන්න. යාලුවාගේ අප්පා එලොව ඉඳනුත් හොයනවා ඇති ඒ ගෙපැල. දාඩිය මහන්සිය යට කළ, දරුවන් ලොකු මහත් කළ ඒ ගෙපැල. කියා යවහං ලිපියක් යාලුවට මේ ගැන. වෙලාවක් තිබුණොත්.

දෙමළ ඔළුවලට සෙල්ලම වෙඩි තැබූ තරුණ සොල්දාදුවො ඇවිත් ගමට. උන් උජාරුවට කියවනවා එහේ කරපු වීරකං ගැන. මාතෘකාවක් නැති මාතෘ භූමිය ගැන උන් හදනවා කථා ලස්සනට. හිනා වෙලා එක්වරක් මුන්ගේ මේ විහිළු වලට, අඬනවා සියවරක් වෙඩි වැද මව්බිම ආදරයෙන් සිප වැළඳගත් උන්ව සිහිකර. මම උන් එක්ක කතාවට ගියත් නැතත්, දන්නවා, උන් තියනවා කොයිම මෙහොතක හරි, දෙමළ නොවුණට මගේ ඔළු ගෙඩියටත්. එහෙම වුණොත්, උඹටත් ආරංචියක් ලැබුණොත් ආයෙත් උඹ ලියලා එවපං අර කවිය බූන්දියට.

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැගෙන
අවසන් පැතුම තුළ
නිරුවතිනි යුධ ඇඳුම

දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලි ද ඔය අවිය


සියුමැලි වැඩී බං උඹලගේ, අපේ හිත්. ඒ නිසයි මේ තරම් දුක්. ඒත් හිනාවෙන්න පුළුවන් අපිටම, අපේ ඇතුළටම හැරිලා. උගස් නොකළ නිසාවෙන් තවමත් රකින හෘද සාක්ෂිය.

තවත් ලියන්න අමාරුයි මචං. කඳුළු උල්පත් පුපුරලා, දෑස්කෙමි බොඳ වෙලා. ඒ අතරින් අකුරුත් බොඳ වෙලා. ඒත් මචං, සිත්තන්ඩි කඳුළු තවම නොවියළී එලෙසම ගලනවා. ඒ කඳුළු උල්පත් හෑරූ විරුවන්, දකුණේ රජවරුන් සේ තවම වැජඹී සිටිනවා. අලුත් අවුරුද්දත් ඇවිත් පාස්කුවත් ගෙවි ගියා. පාස්කු පැමිණි බක්මහේ මරණීයව නිසල වූ වන්නි ගම්දොර තවමත් මර බියෙන් සසලයි. ඒත් උතුරු වසන්තය කොළඹට පෙරහැරයි.

ගින්දර සිසිල විඳි සුදර්ශණා කියවද්දි, පපුවක් තියෙන උන්ගේ පපු කැවුතු හිරවෙනවා. ඒත් බියකරු රාත්‍රිය තවමත් එහෙමමයි. ගොදුරු සොයන සොහොන් බල්ලන් අවදියෙන්.

සදාතනිකව
කුරිසිය ම
දෙවුරේ දරාගත්
ජාතියට ඇණ ගසන විට
උන් නඟන කඳෙිරිය
කොවුල් රණ ගී
සමඟ මුසු වී
කන වැකෙන විට
දරන්න බැරි තරම්
මෙතරම්
සතුටුද ඔබට


කියලා ඇහුවට මෙහේ කවුරුවත් නෑ. එහෙම මිනිස්සු අනිත් එකාගේ දුක අහන. 2500 ඉතිහාසයම කියවලා කියවලා මෙහේ හෘර්දයත් පාෂාණීභූත වෙලා. ගල්බෝර දැම්මත් බෑ මචං, ඒ ගල් හිත් හොලවන්න. දැන් උගුර හිරවෙලා. උගුර මැද්දේ ඉකියක් හිරවෙලා. කාටවත් නොපෙණුනාට, උඹ හඬනවා වගේ මමත් අඬනවා. දහස් ගණනක් මැද්දේ උඹ වගේම මමත් තනිවෙලා. සේකර කිව්වට හඳ එළියට ලෝකය එකම යායක් කියලා. හඳ එළියට දැන් තල් රුප්පාව නම්, එක යායට පේනවා. තල් කරටි සේරම කැඩිලා ගිය නිසා ෂෙල් වැදිලා.

අවසන් ලෙස උඹට ලියන්නම් මෙහෙම... උඹ ඔහොමම හිටපං... ශීත සෘතුව පැමිණි කළ උඹට උණුසුම දෙන්න, උඹේ හිතේ උණුසුම ඇති. එහෙම හිත් තියෙන ඔක්කොම මිනිසුන්ව මතක් කරා කියපං. කවද හරි දවසක අපි හමුවෙමු, කොහෙදි හරි. සෙල්ලමට ඔළුව කුඩුවෙන්න වෙඩි තියන්න කලින්. ස්ටීවන්ටත් එන්න කියමු. එකට ඉඳගෙන ගල් උගුරක් බොමු. කථා දහසක් තියෙනවා කියන්න. ඒ ඔක්කෝම එකින් එක කථා කරමු.

උඹට ජය!

-මාතෘකාවක් නැති මාතෘ භූමියේ තනි වූ, උඹේ මචංවරයෙක්....

Friday, July 29, 2011

මහා අනෙකාගේ ප්‍රමෝදය බිග් අයිඩියා කර විකිණීම

පවතින ධනේෂ්වර අර්ථ ක්‍රමය තුළ සියලු මානවා  සම්බන්ධතා සහ තමන් තුළ සිටින අනෙකාගේ ආශාවන්, අභිලාශයන්, සිහන, ප්‍රර්ථනා සියල්ල විවෘත වේදිකාවක් මතට ගෙනෙනා කර්මාන්තයකි. අනෙක් පැත්තෙන් එය ලෝකයේ වැඩිම මුදල් සංසරණය වන කර්මාන්තයන්ගෙන් එකකි.  ඇඩවර්ටයිසින් නැතහොත් ප්‍රචාරණ ​ක්ෂේත්‍රය මේ නිශ්චිත නිමේෂය වන විට ජීවිතයේ ශුදුමුල් දක්වා විහිදී ගොස් ඇත. මා තුළ සිටිනා අනෙකාගේ ප්‍රමෝදය  සොයා දෙන්නට ඕනෑ තරම් අවස්ථා ඒ හරහා  උදාකර ඇත.

උදාහරණයක් ලෙස ඔබ​ගේ  මුහුණ පමණක් සුදුවීමට නම් ලව්ලි ඇත. සම්පූර්ණ ඇඟද සුදුවීමට අවශ්‍යයනම් හෙල්දි වයිට් ඇත. ඔබට කොත්තු මී කෑමෙන් පසු හොටි විය හැක. දැන් ඔබගේ රැකවරණය ගැන කොතැන සිටියත් කුකුසක් ඇතිකර ගත යුතු නැත. වැඩි දෙයක් නොව ඔබලේ කුසින් එන වාතය මුවින් පිටවන ශබ්දය නැතහොත් ගුඩුස් එක පාවා අලුත් ට්‍රෙන්ඩ් එකකි.
මෙකී නොකි සියලු ප්‍රමෝදයන් සියල්ල දැන් ඔබ හමුවේ ඇත.

මේ සියලු කරණා නිරවුල්ව විග්‍රහකර ගැනීමට ප්‍රචාරණ ක්ෂත්‍රයේ ඇතුලාන්තයට එඹී බැලීම ඉතාම මැනවැයි සිතමි. දිලිත් ජයවීම කෝටිපති ව්‍යාපාරිකයෙක් කළ  අපේ මහා අනෙකාගේ ප්‍රමෝදය සුමින්ද ගමගේ නම් සුන්දර ලේඛකයා හපයක් කර ඇත. උදය තෙන්නකෝන් නම්  මාධ්‍ය සගයා නිර්මාණ අධ්‍යක්ෂකයෙක් වන විට ඔහු හපයක් කර අවසානව. ඉන්දික ගුණවර්ධන නම් තරුණ කවියා බිහිවන්නේ මේ විකිණෙන ක්‍රමයට ආයුබෝවන් කී දා සිටයි. නර්මදා රණවීර කිවිදිය හපයක් වන්නේ මේ ක්ෂේත්‍රය තුළය. අවාසනාව ඔවුන්ලෙන් පසු දෙවන පෙලක්ද දැන් එහිම යැපීමමයි. ( චින්තන, වීරයා, අමිල etc...)

පවතින නරුම ක්‍රමයට අභියෝගකරන්ට තිබූ මානව සම්පත රැසක් හප කරන්නේම අනෙකාගේ ප්‍රමෝදය පිනිසය. සමාජය තුළ වැඩකරන අයිඩියා ගෙනෙන්නට අයගේ ගෙවීමද එලෙසම වැඩිය. කලක් යද්දි වන්නේ ඔවුන් වෙනස්ම ජීවන රටාවක හුරුවීම සහ එය අහිමිව ජීවත් වන්නට නොහැකි වීමයි. නමුත් වැඩකරන අයිඩියා නොමැති දිනකදී සිදුවන්නේ පස්සට පයින් ගසා එලවීමයි. එසේ එලවන අවස්ථාවට පැමිණෙන විට ඔවුන්ට ඔවුන්ට අතහැරී ඇති සමජීය වපසරිය ​සුළුපටු නොවේ. උදාහරණයක් ලෙස මේ මොහොතේදී JWT හි නිර්මාණ ප්‍රධානී චාන්දනී රාජරත්නම් නැතහොත් සී, ලියෝබර්නඩ් හි සුබාෂ් පින්නපොල, ලින්ටාස් හි සුරුබන්, බේට්ස් හි හරේන්ද්‍රගෙන් මේ මොහොතේ සමාජ සන්ධර්බය සම්බන්ධව විමසුවහොත් එය ඔවුන් එතරම් තෑනිය යුතු දෙයක්  ලෙස නොසිතනු  ඇත. මන්ද ඒ සියල්ලට වඩා අලුත් ඇඩවර්ටයිසිං කැම්පෙන් එකක් දිනීම අන් සියල්ලට ඔවුන්ට වඩා වැදගත් බැවිනි. එය ඔවුන්ට පමණක් පොදු කරණක් නොව එය ඓතිහාසිකව ක්ෂෙත්‍රයේ සියලු දෙනාගේ පොදු තත්ත්වයයි.   ඒ නිසාම ඔවුන් හප වනවිට ඔවුන්ට සුවිසල් සමාජ වපසරියක් අහිමි වී ඇතැයි පැවසුවේ එබැවිනි. ඒ ක්ෂේත්‍රයේ ඇතුලාන්තයයි.

ප්‍රචාරණ ව්‍යාපෘති සමාජය ත්‍රළ ක්‍රියාත්මක වන්නාවූ ආකාරය වටහා ගැනීම මේ මොහොතේ සමාජය විග්‍රහ කරගැනීමට උදව් වනවායැයි සිතමි. ලංකාවේ ජන විඥානය වෙනස් කල ආකාරය විග්‍රහ කර කරගැනීම ඉදිරියේදීවත් පරිභෝජනවාදී ගොදුරක් වීමේදී අඩුම ගණනේ එය දැනගෙනවත් ගොදුරුවිය හැක.  ලංකාවේ ජන විඥානය වෙනස්කරල ප්‍රචරණ ව්‍යාපෘති වලින් ඉදිරියෙන්ම සිටින්නේ "අපි වෙනුවෙන් අපි"  ව්‍යාපෘතියයි. එය එතරම් වැඩකලේ ඇයි?  එයට පිලිතුර අපතුළ සිටින ජාතිවාදී අනෙකා එම දැන්වීම හරහා චූන්වන නිසාය. දමිළ අරගයට වැඩේ දෙන්න යන්නා දකුණේ සමාජය තුළ පොරක් යන්න එම ව්‍යාපෘතිය හරහා සමාජගත කරන මතවාදයි. එය  කෙතරම් ඔබගේ අනෙකා ප්‍රමෝදයට පත් කලෙද යන්න සිතා බලන්න. එහි රූපරාමු පෙළ නිර්මාණ වී තිබුනේ ඉහත කියූ කාරණා වඩාත් තීර්ව වන ලෙසය.

ලංකා සමාජය දැඩි ලිංගික පීඩනයක් සහිත වූ සමාජයකි. ඒ නිසාමා බුරියක් පෙන්වීම, පිරිපුන් කළව යුගලක්, පිම්බුණු පියයුරු යුගලක් පෙන්වීම අප තුළ සිටින ලිංගික පීඩනයට පත්වූ අනෙකා ප්‍රමෝදයට පත්වන  මොහොතකි. මේ නිසාම බහුතරයක් කොත්තු මී මිලදී ගැනීමට අපගේ විඥානය ක්‍රියාකරන්නේ ඉහත කී මනෝ ලිංගික ක්‍රියා වලිය ඔස්සේය. මනෝමයෙන් කොත්තු මී කියා කඩේට ගොස් මිලදී ගන්නේ ප්‍රචාරණ දැන්වීමේ පෙන්වූ ස්ත්‍රිය පෙන්වූවාටත් වඩා නිරුවත්කරය. මගේ අනෙකා සන්තර්පණය වන්නේ ඒ හරහාය. නමුත් අපි එළිපිටදී කොත්තු මී සදාචාරය විනාශ කරනවායැයි දෙස් දෙවොල් තබයි. නමුත් සත්‍යනම් මගේ අනෙකාගේ අවශ්‍යතාවය කොත්තු මී දැන්වීමේ සිටිනා ස්ත්‍රියගේ තව තවත් ඇඳුම් ගැලවීමයි. ​ඒ අන්කිසිවක් නිසානොව ලංකා සමාජයේ පවතින්නාවූ ලිංගික පීඩනය නිසාමය.

 මේ මොහොතේ දේශපාලනික ක්‍රියාවලිය විග්‍රහ කරගැනීමේදී ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය වටහා ගැනීම ඉතාම වැදගත්ය. මන්ද ඔවුන් ​ලංකා භුමියේ ජන විඥානය වෙනස් කිරීම නැතහොත් ඉහමොළ සොදා හරින්නේ දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණය හරහාය. ඒ සියල්ලෙන් ප්‍රමෝදයට ගෙනෙනු ලබන්නේ අපගේ මහා අනෙකාය.

ශ්‍රී ලංකා රාජ්‍ය සිංහල ජාතිවාදී රාජ්‍යයක්  කරා ගෙනයාමේ වර්තමාන ක්‍රියාවලියට ආරම්භය  ගෙනන ප්‍රචාරණ ව්‍යාපෘති කීපයකි. මෙම ක්‍රියාවලිය ඉතාම උපාය මාර්ගිකව දැන හෝ නොදැන ලංකා සමාජය තුළ ක්‍රියාත්මක වුණි. ඉන් පළමු වැන්න ක්‍රියාත්මක වන්නේ  " ගන්න අපේ දේ"මෙම ව්‍යාපෘතිය හරහා සමාජ ගත කරන්නට උත්සහ දැරුවේස බහුතරයේ මිලදී ගැනීමේ බලයයි. එම බලය හරහා බහුතරයේ  දමිළ  අරගලය යටපත් කිරීමේදී එන අනෙකුත් පීඩනයන්
කේවල් කිරීමයි. " මහින්ද චින්තනය යනුන්නම දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් වන අතරම පුද්ගලික මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයක් රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස සලකා ක්‍රියාත්මක වන අන්ත පසුගාමී රටවල් අතරින් ලංකාවද එකකි.

මේ මොහතේ සිදුවන සියලු ඊනියා සංවර්ධන ව්‍යාපෘතීන්ට වඩා මුදල් වැය කරනු ලබන්නේ ප්‍රචාරණයන්ටය. හම්බන්තොට වරයා ඉදිකරනු ලැබුවේ හම්බන්තොටය. වැඩිම කටවුට් ගණනක් ගසනු ලැබූවේ කොළඹ නරගය තුළය.  ඔවුන්ගේ අනෙක් ව්‍යාපෘතීන්ද එවාට දෙවැනි නැත. පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ විද්වත් වාර්ථාවට පවා රාජත්‍රන්ත්‍රිකව පිළිතුරුලබා දීම පසෙකලා මුලින් සිදුකරනු ලැබුවේ කොළඹ නගරය පුරා දැවන්ත කටවුට  ගැසීමයි.

මේ කරන්නේ කුමක්ද?
ඔවුන් මේ සියල්ල කරන්නේ අපගේ ප්‍රමෝදය මනාව හඳුනාගෙන සිටින හෙයිනි. මෙනිසා ඔවුන් මොහොතේ කරන්නෙ අපගේ ප්‍රමෝදයට අවශ්‍ය ධාතුව සැපයීමයි. ඒ නිසමා අපගේ මහා අනෙකාගේ ප්‍රමෝධය ප්‍රචාරණ ආයතන තුළින් බිග් අයිඩියා ලෙස එලියට පැමිණ, එය විවෘත වෙන්දේසියේ අලෙවිකරයි.
මේ මොහොතේ දේශපාලනික ක්‍රියිවලිය වටහා ගැනීමනම් එහි ප්‍රචාරණ යාන්ත්‍රණය වටහා ගැනීම ඉතාම කාලෝචිතය..

Thursday, June 16, 2011

තමන් අනෙක් කටිටිය වීම


පසුගිය සඳුදා "අනෙක් කටිටිය" නමින් නමාකරණය  වූ තරුණ කණ්ඩායමක් විසින් "අරගලය අරභමු" මැයෙන් සංවාදයක් මහජන පුස්ථකාලයේදී සංවිධානය කර තිබුණි. වික්‍රමබාහු, වසන්ත සමරසිංහ, ලියනගේ අමරකීර්ති, සුමනසිරි ලියනගේ, ශිරාල් ලක්තිලක, සරත් ප්‍රනාන්දු , ජොසප් ස්ටාර්ලින් යන  විවිධ වූ දේශපාලනික ආස්ථානයන් වල පවුරු බැදසිටින ක්‍රියාදරයන් පිරිසක් සංවාදයෙ සදහා සහභාගී වී තිබුණි. සංවාදයට ප්‍රස්කෘතයන් වී තිබුණේ නොදෙන වැඩි වැටුප, බලෙන් දෙන විශ්‍රාම වැටුප, සරසවි සිසුන්ගේ මිලිටරි පුහුණුව සහ මානව හිමිකම් යනුවෙනි.

ලියනගේ අමරකීර්ති සංවාදය ආරම්භ කරමින් තමන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධ යම්  හරවත්  ප්‍රාවේශය ගත්තද ඉන් පසු අනෙක් කතිකයන් සියල්ලන්ම තමන්ගේ දේශපාලනික මත සංවාදය තුළ වෙන වෙනම ස්ථානගත කිරීමට. තමන් සතු හොදම වදන් භාවිත කරමින් ​සිය කථාවන් පැවත්වූහ. විටින් විට  අනෙක් කට්ටියද පැමිණ තමන්ට බොරැල්ල පොලීසියෙන් සිදුවූ හිරිහැරය හොද හැටි පට්ට ගසමින් එය තමන්ට ඇඩ් එකක් කළගත්හ. කටුනායක බහුතරයක් මෙන්ම ඔවුන්ද හිතන්නේ මේ පොලීසය තමන්ට වද දුන්නේ තමන්ගේ හිතු මතේට බවයි. මහින්ද සේනාධිනායකයා බව ඔවුන්ද සබුද්ධිකව අමතක කරදමති. එසේ නොමැතිව වගීෂ සුමනසේකර මේවා නොදැන ඉන්නට බබාලා නොවේ.

ඔවුන් සංවාදව පුරාම ස්ථීර කරන්න උත්සහ කලේ මහින්ද ආණ්ඩුව තමන්ට දැවැන්ත මර්ධනයක් මුදාහරින බව සහ එයට මුහුණ දීමට පීඩිතයන්ගේ අරගලයක් අවශ්‍ය බවයි. මේ කථාවන් දෙස සබුද්ධිකව කල්පනා කිරීමේ යම් තැකතට​ අප කැදවාගෙන එයි සහ අප අභිමුවේ ප්‍රශ්ණ කීපයක් නිර්මාණය කරයි.  ඉන් පළමු වැන්න මේ සියල්ලන්ටම මහින්ද පාලනයේ මර්ධනය වටහාගෙන ඇත්තේ මේ මොහොතේද??? අනෙක් ප්‍රශ්ණය පීඩිතයින්ගේ අරගලය කඩා විසුරුවා සුනුවිසුනු කර දමන  ලද්දේ කවුරුන් විසින්ද යන්නයි.

මහින්දව පාලන බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ අති දැවැන්ත කාර්යබාරයක් කල මේ සංවාදයේ කතිකයන්ගෙන් බහුතරයක්, මහින්ද පැමිණනෙ ජාතිවාදී මාර්ගයේ අනාගත ඵලවිපාකයන් එදා දුටුවේ නැද්ද??? නැතිනම් ඔවුන් දැක කොලේ වසා සිටියාද යන්නයි. වැටුප් ප්‍රශ්ණයක් එතතුරු විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු සිටියේ කොහෙද??? දමිළ ජනයා දහස් ගණනක් ඝාතනය කරද්දී, ලසන්ත මහපාර මැද මරා දමද්දී, ප්‍රගීත් එකැනැලිගොඩ අතුරුදහන් කර දමද්දී, පොද්දල ජයන්තගේ මහපාර මැද කකුල් කඩද්දී මේ පිරිසගේ ආස්ථානය කොතැනද?? වසන්ත තම කථාව ආරම්භයේදීම පැවසූ දෙයට මා හට නැගආ හිනාව මැඩගෙන සිටියේ ඉතාම අපහසුවෙනි. ඔහු කියන්නේ ජවිපය ඉතිහාසයේ පුරා හරි තැන හිටගත් බවයි. ඔවුන් ලකුණු කරගෙන සිටි හරි තැන දමිළ සංහාරයක් සිදුකිරීමට ආණ්ඩුවක් පත්කිරීමද???  වරක් අන්තරයේ කැදවුම්කරුව සිටි දුමින්ද අරංගලට සමඟ කැලණි විශ්ව විද්‍යාලයේ  නවක වදය සමබන්ධ සංවාදයකට ගිය අවස්ථාවකදී ඔහු දුන්නේ කදිම පිළිතුරකි. අපි කට්ට කාලා ආවේ.... මුනුත් ඒ කට්ට කන්න ඕනේ... එහිදී මාගේ ප්‍රශ්ණය වූයේ වර්තමානය අතීතයේ තට්ට කන්න ඕනේනම්, අතීතයේ දී ඔබලා කළ කාර්යභාරය  කුමක්ද යන්නයි. ඉන්පසු අපට මුහුණ දෙන්නට වූයේ ඉතාම පහත් තත්ත්වයේ ප්‍රතිචාරයන්ටය. දමිළ සොරොහුරන්ගේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනීසිට අපට ඔවුන් දුන් නාමය වූයේ පර දෙමල්ලු යන්නයි.... මේ ජවිපය ඉතිහාසය පුර සිටගත් නිවැරදි තැන්ය.

විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු ද ආණුඩවට දමිළ ජනයා සමූල ඝාතනය කිරීමට පටි තදකර ගත් යටත් පිරිසෙන් එක් කණ්ඩායමකි. එදා ජීවන වියදම ඔවුන්ට බරක් නොවුනිද??? ඇත්තෙන්ම එදා හොදද?? අරගල දෙකක අත්දැකීම් ඇති ජවිපය පීඩිතයින්ගේ අරගලයක් අවැසි බව දකින්නේ දැන්ද??? ඔවුන්ට අනුව උතුරේ අරගලය ධනපතියන්ගේ අරගලයකද??

අප ඉදිරියේ මෙවැනි ප්‍රශ්ණ මාගලක් නිර්මාණය වෙද්දී බාහු දැන් සිටින්නේ ඉවවහා ගිය ප්‍රීතියකිනි. ඒ  ඔහුට අනුව මේ මොහොත කම්කරුවගේ මොහොත බවයි. ඒ නිසාම ඔහුගේ එදා කථාව ගැලරිය පිනවන විමල් වීරවංශගේ කථාවකට දෙවැනි නැත. ඇත්තෙන්ම බාහු කවදත් සිටින්නේ මේ මොහොත අමතක කරමිනි. පීඩිතයාගේ මොහොත උතුර තුළ විනාශ කිරීමෙන් පසු තවම ලංකාව තුළ කම්කරුවාගේ මොහොත පැමිණ නැත. ඒ මෙහොත නිර්මාල් දේවසිරි කියනා ආකාරයට මෙන් මෙය ඔහේ යන්න දී පැමිණෙන්නේ නැත ඒ වෙනුවෙන් තව බාහුලා අත නොතැබූ වැඩ රාශියක් කිරීමට තිබේ. උදාහරණ ලෙස බාහුලාගේ ආමන්ත්‍රණ භාෂාව පවා වෙනස් කරගත යුතුව ඇත. 

විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන පුහුණුවට තමන් යුධ යන වචනය පාවිච්චි නොකරන බව කියූ ශිරාල් ලක්තිලක තමන්ගේ උත්තම නායකයා වන සජිත් ප්‍රේමදාස සහ මහින්ද අතර වන අවබෝධතාවය එතැනදීද රැකත්තේය. අනෙක් කරුණ අරගලය ආරම්භ කරන්නට යන්නේ ශිරාල් ලක්තිලක වැන්නන් සමගන් ඔහු එතැනද ගේමක් ගසනු නොඅනුමානය.

සරත් ප්‍රනාන්දු සහ ජෝසප් ස්ටාර්ලින් සුපුරුදු ලෙසම සිය දේශණයන් ගිරිය පුප්පමින් තමන්ටවත් නොතේරෙනා භාෂාවෙන් කරන ලදී.

සමස්ථයක් ලෙස ඔවුන් සියලු දෙනා සිටින්නෙ යම් ප්‍රමෝධයකිනි. අනෙක් කටිටය සිටියේද ඒ ප්‍රමෝදයේ ගිලෙමිනි. ඒ ප්‍රමෝදය නිසාම මේ මොහොත අමතක කරමින් තමන්ගේ ආස්ථායන් සපත කරගැනීමේ ව්‍යාපෘතියක නියැලුනි. අරගයක් ආරම්භය පේනතෙක් මානයේ අසලටවත් සංවාදය ගියේ නැත. මේ මොහොතේ අවශ්‍ය සංවාදය උතුරේ අරගය සමග දකුණේ අරගලය අමුණන්නේ කෙසෙද යන්නයි. එයට අවශ්‍ය නැවුම් ක්‍රමවේදයන් සොයාගැනීමයි. නව දර්ශණයක් ඒ වෙනුවෙන් බිහිකිරීමයි. ඒ වෙනුවට සිදුවූයේ සියල්ලන්ම අනෙක් කටිටිය වී ප්‍රශ්ණය තවම ගේට්ටුව ළග නිසා එයින් ප්‍රමෝද ගත වීමයි. නමුත් ඔවුන් නොදන්න දේ හෝ දැක අහක බලා සිටිනා දේ ප්‍රශ්ණය තමන්ගේ දෙපතුලෙන් උඩටත් පැමිණ ඇති බවයි.

Friday, May 13, 2011

සංවාදයෙන් ආරම්භ වී සංවා​සයෙන් අවසන් වීම

මෑත දිනකදි කාලෙකට පස්සෙ ගමේ ගියේ හදිසි මරණ ගෙයකට සහභාගී වීම සඳහාය. මළගෙදර රැයපහන් කිරීමට විශාල පිරිසක් නැතත් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. රාත්‍රිය අමුවෙන් පහන් කිරීමට නොහැකි නිසාම ඇල්​කොහෙල් බෝතල් කීපයක් ද අපේ මිතුරන් විසින් රැගෙන විත් තිබුණි. ගෙදරින් මදක් ඇතින් වන්නට පිරිස හා එක්ව මධුවිතින් සප්පායම් විය. දැන් සංවාදය ඇරඹී ඇත. සුපුරුදු ලෙසම සංවාදයේ මාතෘකාව  දේශපාලනය විය. පසුගිය පලාත් පාලන ඡන්දයේ සිදුකළ චන්ඩි කම්, ආණ්ඩුවේ මැරකම්, ජනාධිපතිතුමාගේ අසනීපය,  අහවල් ඇමති තුමා​ගේ අහවල් වැඩ ආදිය ගැන සියල්ලන් තොර තෝංචියක් නැතිව කියව ගෙන යයි. මට කථාකරන්නට දෙයක් නොමැත. හදිසියේ මම මැදට පැන ​දමිළ විමුක්ති ව්‍යාපාරය විනාශ කිරීම සමුපූර්ණ වැරදියයි කියතහොත් මගේ අම්මා මුත්තා පවා කුණුහරුප වැලකින් බැණුම් අසා, කෑඩු බෝතල් කැබැල්ලක් මගේ පුපු පෙදෙස පසාරු කරගෙන යන්නටද බැරි නැත. ඒ නිසා මගේ දේශපාලනය පසකින් තබා ගමේ අයියලාගේ කථාවලට බෙහොම අවධානයෙන් සවන් දෙමින් සිටියෙමි. හදිසියේම මොකද්දෝ කරුණක් අල්ලා ගනිමින් බහින් බස් වීමක් දක්වා සංවාදය දුරදිග ගොස් එකෙක් තවකෙකුගේ බෙල්ලෙන් ඇල්ලීය. මෙතෙක් වෙලා පැවති සංවාද සියල්ල අවසන් කරමින් සංවාස පද වැල නොකැඩී ගලන්නට විය. හිමීට ඇරඹි කථාබහ දැන් මහා රණ්ඩුවක් දක්වා එළඹ ඇත. මළ ගෙදර පිරිස්ද පැමිණ රණ්ඩුවට මැදිහත් වී දැන් සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකි. තවත් ටික වෙලාවකින් එකෙකු පල්ලම් බැස ගියේ හෙට උදේ එළිවෙන්න පෙර "තෝ භාවනවා" යැයි සපත කරමිනි.

මෙය හුදු කල්පිතයක් නොව සම්පූර්ණයෙන් පාරිශ්‍රද්ධ යැයි කියනා , නැතිනම් ගමයැයි වර්ණනා කරනා ගම තුළ පැවතින යථාර්ථයි. ශ්‍රී ලංකාවම ගමක් වන්නේ ඔය හේතුවෙනි. මන්ද ලංකාවේම යථාර්ථය වන්නේ එයය. සංවාදය ඉවසන්න නොහැකි වූ තැන අවසන් වන්නේ අනෙකා තලා පෙලා නිහඩ කරන්නට උත්සහ දැරීමෙනි. පසුගිය කාල සමය පුරාම මෙහි අභ්‍යාසයේ යෙදුනු නිසාදෝ එය ලංකීය සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇත.

ලංකාවේ පවුල් සංස්ථාව තුළ යම් සංවාදයක් ගියහොත් එය අවසන් වන්නේ බොහෝවිට
පවුලේ ස්ත්‍රී පාර්ශවය පහර දීමකට ලක්වීමෙනි. පාසල් සංස්කෘතය තුළ ගුරුවරයාගේ සංවාදය වෙනත් මතයක් ප්‍රකාශ කළහොත් සමහර විට පාසලෙන් පවා ඉවත් කිරීමට පුළුවන. එහි හොඳම උදාහරණය විශ්වවිද්‍යාලය තුළ කතිකාචාර්ය වරයාගේ සංවාදට වෙනස් මතයක් ප්‍රකාශ කළහොත් අවසන් විභාගයට දෙයියන්ගේම පිහිට පමණි. ඒ තරමට මේ මුග්ධ ක්‍රියාකරම් අප සමාජය විසින් අභ්‍යාසයේ යෙදෙමින් සිටිති.

විශාල පිරිසනට තමන් යෙදෙමින් සිටි සංවාද පසෙකලා ජීවිත බේරාගන්නට විශාල පිරිසකට මෙරටට හැරදා යන්නට වන්නේ එහි ප්‍රතඵලයක් ලෙසිනි. තවත් පිරිසකට සිටිතැනම තමන්ගේ  මුඛයට ඉබි අගුළාගන්නට සිදුවිය. එසේ නොවුනු සියල්ලෙක්ම අඩන්තේට්ටම් වලට මුහුණ දීමට සිදුවිය. පොද්දලගේ අතපය කරද්දී  ප්‍රගීත් අතුරුදහන් වන්නේ තමන්යෙදී සිටි සංවාදයන් හි ප්‍රතිඵලයන් ලෙසටය. ලසන්ත ඝාතනය වන්නේ ද සංවාදයේ ප්‍රතිඵලයන් ලෙදය. තමන් එකග නොවන මතවාද සියල්ල කුමන හෝ ක්‍රමයක් මගින් යටපත් කිරීම මේ වන වට ලංකීය සමජයට ඉතාම හුරුපුරුදු ශිල්පයකි. එය ජාතික තලයේ දේශාලනයේ සිට සියලු උප සංස්කෘතින් දක්වා පැමිණි ඇත. පවුල් සංස්ථාවේ සිට රාජ්‍ය පාලනය දක්වා එය කාවැදී ඇත. දැන් එය ලංකීය ජනසමාජයේ ඇගට උරාගෙන අවසන්ය.

කෙතරම් කැත ලෙස සියලු උප සංස්කෘතීන් පවා ​ගිලගෙන ඇති යථාර්ථය අපි මේ මොහොතේ අත්දකිමන් සිටිමු. උදාහරණ ලෙස අන්තර්ජලා මාධ්‍යයේ පවා එය ඉතාම නරක අයුරින් වෙලාගෙන ඇත. විශේෂයෙන් ​ෆේස් බුක් වැන් අන්තර්ජාල උප සංස්කෘතිය තුළද සංවාද අවසන් වන්නේ ග​මේ අයියලා කසිප්පු ටිකක් කටේ ගාගෙන හැසිරෙන ආකාරයට දෙවෙනි නොවෙමිනි. අවසන් බොහෝවිට තර්ජනයක් හෝ සංවාසවදන් වැලක් එළිය එවීමෙනි. තමාට පෙ​නෙන්න ඉන්නා අනෙකා ඉවසන්න බැරි තරමටම අන්තර්ජාලය තුළදී නොපෙනෙ අනෙකාවද ඉවසන්න හික්මීමක් නැත. ඇත්තේ සුපුරුදු තර්ජනාත්මක කථාය. ඒ නිසාම ඒ තුළ සිදුවන කිසිදු සංවාදයක් ඵලදායි ආස්ථානයක් වෙත විතැන් වීමක් සිදුනොවෙති. එහිදී බරපතල ලෙස පහර කෑමට ලක්වන්නේ දමිළ ජනයාට සිදුවන අසාධාරණයට විරුද්ධව තමන්ගේ මතය ප්‍රකාශ කරන්නන්ය. ශ්‍රී ලංකා භූමිය මතදී ඔවුන්ට ත්‍රස්තවාදී ලේබලය අලවන්නේ යම් සේද ඒ ලෙසම සයිබර් අවකාශය තුළදීද ඔවුන්ට ත්‍රස්ථවාදී ලේබල් අලවති. සෑම අස්සක් මුල්ලක්නෑරම මෙ කාරණා මුල් ඇද ඇත.

ඇමරිකාවේ සිට ඔසාමා බින් ලාඩන්ගේ පුතකු හට තම පියා මැරීම යුධ අපරාධයක් යැයි කිව හැකි වූවද ලංකාවේදී ප්‍රභාකරන්ගේ පුතකු නොව අප විසින් කිව්වොත් ප්‍රභාකරන් ඝාතනය කිරීම යුධ අපරාධයක් යැයි කියා ​සමහර විට මේ ලියන අවසන් ලිපිය වන්නට ඉඩ ඇත. ඒ නිසා ලංකාවේ දී සිදුවී ඇත්තේ සංවාද කිරීමට ප්‍රථම ජීවිතය බේරාගැනීම ගැන දෙපාරක් නොව සියයක් වතාවක් සිතීමටය.

ඒ නිසා යම් කිසිදිනක ලංකා භූමියතුළ ප්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත වීමට නම් ලංකීය ජනසමාජය වසා පවතින නරුම ගතිකයන්ගෙන් ඉවත් වීම අනිවාර්යයෙන්ම  සිදුවිය යුතුය. එසේ නොමැතිව වෙනත් පක්ෂයක් ලංකාවේ පාලන බලයට පැමිණියද මෙහි කිසිදු වෙනසක් බලාපොරොත්තු විය නොහැක. මේ තත්ත්වයෙන් මිදීමටනම්, ජන සමාජයම ආකල්පමය වෙනසකට මුලපිරීමක් කළයුතුය. ​​මානව ප්‍රේමය සමාජය පුරා බෙදාහැරිය යුතුය.

නමුත් ගැටලුව මේවා කියූ ගමන් ගමන් අපව මරා ගන්න එන එකය....