Saturday, March 19, 2011

ලිප්ටන් විසින් දිනාගත යුතු විහාර මහා දේවී


විහාර මහා දේවී උද්‍යානය සහ ලිප්ටන් වටරවුම.... මේ එකිනෙක අතර මිටර් සියයකට වඩා දුර නැත. ඒවා කොළඹ නගර සීමාව තුළ පිහිටා ඇති සුප‍්‍රසිද්ධ ස්ථානයන් දෙකකි. ස්ථාන දෙකම මිනිසුන් සහ මානව කි‍්‍රයාකාරීත්වයන් සමග පුදුමාකාර ලෙස බැඳී ඇත. විශේෂයෙන්ම පහළ පාන්තික සමාජ ස්ථරයන් සමග ස්ථාන දෙකම දිගු කාලයක් තිස්සේ බැඳි පවති. විහාර මහා දේවී උද්‍යානයේ පෙර පැවති නම වූයේ වික්ටෝරියා-
 
උද්‍යානය යන්නයි. ඉංග‍්‍රීසි යුගයේදී මෙම උද්‍යානය ඉදිකර ඇත. ලිප්ටන් වටරවුම ලිප්ටන් සමාගම ඔය අසල ස්ථානයක පිහිටා තිබීම නිසා එය ඉදිරිපස වටරවුම ලිප්ටන් වටරවුම ලෙසින් අපගේ වහරට හා භාවිතයට එක්වුණි. මෙම ස්ථාන දෙකම අතිශය දේශපාලනික හා මානව ක‍්‍රියාකරකම් සමග දැඩි බැඳී පවතී. එම බැඳීම් නිසාම මෙම ස්ථාන දෙක අප ජන සමාජය සමග තිබෙන්නාවූ සම්බන්ධය අතිශය සජීවීය. කථාව එලෙස ආරම්භකර ගත හැක.

ඈත ගම්වල සිට රැකියාවක් සොයා කොළඹ එන කෙල්ලන් කොල්ලන් අතරින් බහුතරයකගේ පේ‍්‍රම පාරාදීසය විහාර මහාදේවී උද්‍යානයයි. නාගරික පහළ නිර්ධන පන්තියටද මෙය එක සේ අදාළය. බොහෝම අමාරුවෙන් වේලක් ඇර වේලක් යැපිමෙන් හෝ ආදරය කිරීමට, ලැබීමට, විඳීමට ඔවුන්ද කැමතිය. කොළඹ ඉහළ මධ්‍යම පාන්තික කොල්ලෙක් කෙල්ලෙක් මැජෙස්ටික් සිටි එකේ ෆුඩ් කෝට් එකට වී ෆෲට් ජූස් එකක් බොන ගමන්, බර්ගර් කමින් ආදරය කරන්නා සේ මේ අයට කඩල ගොට්ටක් කමින් හෝ ආදරය කිරීමට ඔවුන්ට ඇත්තේ විහාරමහා දේවී උද්‍යානයයි. එසේ ආදරය මේ තැන් දෙක තුළ දෙයාකාර ලෙස විතැන් වන්නේම මෙම සමාජ ක‍්‍රමයේ පවතින්නා වූ හිඩැස් නිසාය. මේ විෂම බව නිසාම විහාර මහා දේවි උද්‍යානයට ගොණුවන පේ‍්‍රමවන්තයිනට සිදුවන්නේ කට්ට අව්වක ගසක් යටට වී තම තමන්ගේ පේ‍්‍රම අධිරාජ්‍යය ගොඩනැගීමටයි.

අපගේ මාතෘකාවේ අනෙක් ස්ථානය වන කොළඹ නගරය තුළ පිහිටි නම කියූ සැනින් කවුරුත් දන්නා ලිප්ටන් වටරවුම බොහෝ දෙනාගේ ඇස ගැසෙන ස්ථානයකි. ඒ නිසා පහළ නිර්ධන පාන්තිකයාගේ සිට සුපිරි ප‍්‍රජාතාන්ත‍්‍රවාදියා දක්වා තමන්ට සිදුවන අසාධාරණයන්, නොමනාකම් වලට විරුද්ධව නැගී සිටීම දක්වන්නට දශක ගණනාවක සිටම යොදා ගනී. බෝඩ් ලෑල්ලක් හෝ බැනරයක් ඔසවා ගනිමින් තමන්ගේ විරෝධය දක්වන බොහෝ අයුරු මෙම ස්ථානයේදී අප දැක ඇත්තෙමු. සමහර කම්කරු නායකයින් තමන්ගේ නිවසට වඩා කාලය ගතකොට ඇත්තේ ලිප්ටන් වටරවුමේය. ඒ ලෙසම සෑම පක්ෂයකම බලය රහිත කාලසීමාව තුළදී තමන්ගේ සටන් භූමිය වන්නේ මේ ලිප්ටන් වටරවුමය ඒ තරමටම අරගලය සමග මෙම ස්ථානය සම්බන්ධය.

පන්ති අරගය සමග ලිප්ටන් වටරවුම සම්බන්ධ යම් සේ ද ඒ ලෙසම ආදරය සමග විහාර මහාදේවී උද්‍යානය ද සම්බන්ධය. මෙම ස්ථාන දෙකම ලාංකේය සමාජය තුළ මහා සමාජ ප‍්‍රකාශකයන් දෙකක් වන්නාහ. ලංකාව තුළ කුමන හෝ ආකාරයේ සමාජ අරගලයක් ජයග‍්‍රහණය කරා මෙහෙයවීමටනම් මෙම ස්ථානයන් දෙකම එක්සත්ව නැගීසිටිය යුතුය. වඩාත් සරලව කියතොත් මෙම ස්ථානයන් දෙකම නියෝජනය වන පිරිස් එක්සත් විය යුතුය. එකිනෙකා වඩාත් හොඳින් තමන්ගේ අරමුණ සහ අභියෝගය හඳුනාගත යුතුය. ඒසේ කියන්නේම විහාර මහාදේවී උද්‍යානය නියෝජනය වන පිරිස බැලූව හොත් බහුතරයක් පීඩනයට පත්වූ, ප‍්‍රාග්ධන තර්කනය තුළ සමාජ පීඩනයට ගොදුරු බවට පත්වූ තරුණ සමාජය ය. ලිප්ටන් වටරවුමේ නියෝජනය බැලූ කල්හි එයත් සමාජ ජීඩනයේ සුවිසල් පැතිකඩක් නිරූපනය කරන නමුත් එහි බහුතර නියෝජන කණ්ඩායම තරුණ්‍යය ඉක්මවූවන්ය. එයින් පිළිබිඹු වන්නේම ලිප්ටන් වටරවුම තවමත් එය තරුණ ආකර්ෂණය දිනාගෙන නැත බවයි. මේ නිසා මේ විකෘති සමාජය වෙනස් කිරීමටනම් විහාර මහාදේවී උද්‍යානයේ සිටින පීඩිත තරුණයා ලිප්ටන් වටුරවුම විසින් දිනාගත යුතුය. එසේ විය යුත්තේම ලිප්ටන් වටරවුමේ දි තමන්ගේ අරගලය පොලිස් බැටන් පහරින් අවසන් වන්නේ යම්සේද ඒ ලෙසම විප්ලවය විහාර මහාදේවී උද්‍යානයේදී සිකියුරිටිගේ විසිල් හඬින් ආදරයේ දිගපළල ලකුණු කරන්නට ඉහත පීඩිත තරුණයට සිදුව ඇති බැවිනි. එම නිසාම ස්ථානයන් දෙකක් තුළ දෙදෙනාම සමාන පීඩිතයෝය. කෙදිනක හෝ මේ පීඩනයෙන් මිඳීමට අවශ්‍ය නම් පීඩිත කණ්ඩායම් එක්සත්ව අවංකව එකිනෙකා වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. එහෙත් අවසානාවට තවමත් මේ දෙකොටස එකිනෙකාව හඳුනාගෙන, වටහාගෙන නොමැත. ඒ නිසාම ලිප්ටන් වටරවුමේදී බැටන් පහර වැද බේරීමට දිව එන්නන් මෙන්ම සිකියුරිටිගේ විසිල් හඬින් තමන්ගේ ආදර දැහැන බිඳ එළියට පැමිණෙන්නන් ද එකිනෙකාව පසුකරමින් කිසිත් නොවූවන් සේ යන්නේම එකිනෙකාට යොමුවන මර්ධනය හමුවේ එක්සත් වී නොමැති නිසාවෙනි.

මෙම මොහොතේ දී ශී‍්‍ර ලාංකේය සමාජයට අවශ්‍යව ඇත්තේ පවතින මර්ධනය සහ මෙම විකෘති සමාජය වෙනස් කිරීමට එකිනෙකා වඩාත් විශ්වාසනීයව දිනාගත හැකි වැඩපිළිවෙලකි. විශේෂයෙන් සමාජ විප්ලවයේ ඉදිරිපෙළ ගාමක බලවේගය වන තරුණ කොටස් දිනාගැනීමේ වැඩපිළිවෙලකි. එසේ ඔවුන් දිනා ගැනීමට කියා විහාර මහාදේවි උද්‍යානට අසලට ගොස් අත් පත‍්‍රිකා බෙදීමෙන් එය කළ නොහැකිය. පසුගිය කාලය පුරාම සිදුවූ පූර්වාදර්ශ දියවී යාම නිසාම එකිනෙකා අතර අනෝන්‍ය විශ්වාසය සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය. ඒ නිසාම කිසිවෙකු විශ්වාස නොකරන තත්ත්වයට අප සමාජය පත්විය. මේ නිශ්චිත නිමේෂය තුළ අපි සියලු දෙනා එය අත්දකිමින් සිටින්නෙමු. දැන්වත් ඉතිහාසයේ සිදුවූ වැරදි නිවැරදි කරමින් නැගී සිටිය යුතුය. නැතහොත් මෙම සමාජ කොටස් එකිනෙකාගෙන් වෙන්ව යාම තව තවත් පුළුල් වෙනවා ඇත. සමහර විටෙක එය කිසිදා එක්කළ නොහැකි ලෙස වෙන් වේ. සමහර කොටස් ඒ බෙදීම හේතුකොට ගෙනම විනාශයට පත්වී යයි. කිසිදු සමාජ ස්ථරයක් ඉවත හෙළීමෙන් කිසි විටෙක සමාජ අරගලයක් සාර්ථකත්වය කරා ගෙන යා නොහැක. විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ අරගලයේදී සියලු පන්ති මෙන්ම තරුණ හැඟීම් මෙන්ම ඔවුන්ගේ පොප් සංස්කෘතිය ද දිනාගත යුතුය. ඒ දිනාගැනීම අන් කිසිවක් සඳහා නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිනම් අපගේ ජීවිත අප විසින් නිදහස් කරගත යුතු සමාජ අරගලය වෙනුවෙනි. එම අරගලයේ අවිය වන්නේ තරුණ කොටස්ය. එය ලෝක ඉතිහාසය පුරා අරගලයන් වඩාත් අවබෝධාත්මකව විග‍්‍රහ කරගැනීමෙන් මෙය වඩාත් පුළුල්ව තේරුම් කරගත හැකිය.

ඉතිහාසය පුරාම සහ මේ මොහොත තුළ වඩාත් අර්බුදයට ලක්ව ඇති අපගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සැවොම එක්ව නැගී සිටිය යුතුය. එකිනෙකට මුහුණ ලා සිටියත් අනෙකාගේ ප‍්‍රශ්නය හඳුනාගෙන නොමැති විහාර මහාදේවී උද්‍යානය සහ ලිප්ටන් වටරවුම මෙන් නොව අනෙකාගේ පීඩනය තේරුම් ගනිමින් ඒ සඳහා කෙරෙන්නා වූ අවංක මැදිහත් වීමක් විය යුතුවේ. තමන්ගේ අරමුණ වෙනුවෙන් තවත් පන්තියක්, කණ්ඩායම් හෝ පුද්ගලයෙක් කඩේ යැවීම වෙනුවට අනෙකාව වඩාත් නිවැරදිව තේරුම් ගෙන ඔහුව දිනාගත හැකිනම්, ජීවිතයයේ නිදහස වෙනුවෙන් වූ සටන වඩාත් සවිබල ගැන්වෙනු නියතය.

No comments:

Post a Comment