Friday, May 13, 2011

සංවාදයෙන් ආරම්භ වී සංවා​සයෙන් අවසන් වීම

මෑත දිනකදි කාලෙකට පස්සෙ ගමේ ගියේ හදිසි මරණ ගෙයකට සහභාගී වීම සඳහාය. මළගෙදර රැයපහන් කිරීමට විශාල පිරිසක් නැතත් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. රාත්‍රිය අමුවෙන් පහන් කිරීමට නොහැකි නිසාම ඇල්​කොහෙල් බෝතල් කීපයක් ද අපේ මිතුරන් විසින් රැගෙන විත් තිබුණි. ගෙදරින් මදක් ඇතින් වන්නට පිරිස හා එක්ව මධුවිතින් සප්පායම් විය. දැන් සංවාදය ඇරඹී ඇත. සුපුරුදු ලෙසම සංවාදයේ මාතෘකාව  දේශපාලනය විය. පසුගිය පලාත් පාලන ඡන්දයේ සිදුකළ චන්ඩි කම්, ආණ්ඩුවේ මැරකම්, ජනාධිපතිතුමාගේ අසනීපය,  අහවල් ඇමති තුමා​ගේ අහවල් වැඩ ආදිය ගැන සියල්ලන් තොර තෝංචියක් නැතිව කියව ගෙන යයි. මට කථාකරන්නට දෙයක් නොමැත. හදිසියේ මම මැදට පැන ​දමිළ විමුක්ති ව්‍යාපාරය විනාශ කිරීම සමුපූර්ණ වැරදියයි කියතහොත් මගේ අම්මා මුත්තා පවා කුණුහරුප වැලකින් බැණුම් අසා, කෑඩු බෝතල් කැබැල්ලක් මගේ පුපු පෙදෙස පසාරු කරගෙන යන්නටද බැරි නැත. ඒ නිසා මගේ දේශපාලනය පසකින් තබා ගමේ අයියලාගේ කථාවලට බෙහොම අවධානයෙන් සවන් දෙමින් සිටියෙමි. හදිසියේම මොකද්දෝ කරුණක් අල්ලා ගනිමින් බහින් බස් වීමක් දක්වා සංවාදය දුරදිග ගොස් එකෙක් තවකෙකුගේ බෙල්ලෙන් ඇල්ලීය. මෙතෙක් වෙලා පැවති සංවාද සියල්ල අවසන් කරමින් සංවාස පද වැල නොකැඩී ගලන්නට විය. හිමීට ඇරඹි කථාබහ දැන් මහා රණ්ඩුවක් දක්වා එළඹ ඇත. මළ ගෙදර පිරිස්ද පැමිණ රණ්ඩුවට මැදිහත් වී දැන් සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකි. තවත් ටික වෙලාවකින් එකෙකු පල්ලම් බැස ගියේ හෙට උදේ එළිවෙන්න පෙර "තෝ භාවනවා" යැයි සපත කරමිනි.

මෙය හුදු කල්පිතයක් නොව සම්පූර්ණයෙන් පාරිශ්‍රද්ධ යැයි කියනා , නැතිනම් ගමයැයි වර්ණනා කරනා ගම තුළ පැවතින යථාර්ථයි. ශ්‍රී ලංකාවම ගමක් වන්නේ ඔය හේතුවෙනි. මන්ද ලංකාවේම යථාර්ථය වන්නේ එයය. සංවාදය ඉවසන්න නොහැකි වූ තැන අවසන් වන්නේ අනෙකා තලා පෙලා නිහඩ කරන්නට උත්සහ දැරීමෙනි. පසුගිය කාල සමය පුරාම මෙහි අභ්‍යාසයේ යෙදුනු නිසාදෝ එය ලංකීය සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇත.

ලංකාවේ පවුල් සංස්ථාව තුළ යම් සංවාදයක් ගියහොත් එය අවසන් වන්නේ බොහෝවිට
පවුලේ ස්ත්‍රී පාර්ශවය පහර දීමකට ලක්වීමෙනි. පාසල් සංස්කෘතය තුළ ගුරුවරයාගේ සංවාදය වෙනත් මතයක් ප්‍රකාශ කළහොත් සමහර විට පාසලෙන් පවා ඉවත් කිරීමට පුළුවන. එහි හොඳම උදාහරණය විශ්වවිද්‍යාලය තුළ කතිකාචාර්ය වරයාගේ සංවාදට වෙනස් මතයක් ප්‍රකාශ කළහොත් අවසන් විභාගයට දෙයියන්ගේම පිහිට පමණි. ඒ තරමට මේ මුග්ධ ක්‍රියාකරම් අප සමාජය විසින් අභ්‍යාසයේ යෙදෙමින් සිටිති.

විශාල පිරිසනට තමන් යෙදෙමින් සිටි සංවාද පසෙකලා ජීවිත බේරාගන්නට විශාල පිරිසකට මෙරටට හැරදා යන්නට වන්නේ එහි ප්‍රතඵලයක් ලෙසිනි. තවත් පිරිසකට සිටිතැනම තමන්ගේ  මුඛයට ඉබි අගුළාගන්නට සිදුවිය. එසේ නොවුනු සියල්ලෙක්ම අඩන්තේට්ටම් වලට මුහුණ දීමට සිදුවිය. පොද්දලගේ අතපය කරද්දී  ප්‍රගීත් අතුරුදහන් වන්නේ තමන්යෙදී සිටි සංවාදයන් හි ප්‍රතිඵලයන් ලෙසටය. ලසන්ත ඝාතනය වන්නේ ද සංවාදයේ ප්‍රතිඵලයන් ලෙදය. තමන් එකග නොවන මතවාද සියල්ල කුමන හෝ ක්‍රමයක් මගින් යටපත් කිරීම මේ වන වට ලංකීය සමජයට ඉතාම හුරුපුරුදු ශිල්පයකි. එය ජාතික තලයේ දේශාලනයේ සිට සියලු උප සංස්කෘතින් දක්වා පැමිණි ඇත. පවුල් සංස්ථාවේ සිට රාජ්‍ය පාලනය දක්වා එය කාවැදී ඇත. දැන් එය ලංකීය ජනසමාජයේ ඇගට උරාගෙන අවසන්ය.

කෙතරම් කැත ලෙස සියලු උප සංස්කෘතීන් පවා ​ගිලගෙන ඇති යථාර්ථය අපි මේ මොහොතේ අත්දකිමන් සිටිමු. උදාහරණ ලෙස අන්තර්ජලා මාධ්‍යයේ පවා එය ඉතාම නරක අයුරින් වෙලාගෙන ඇත. විශේෂයෙන් ​ෆේස් බුක් වැන් අන්තර්ජාල උප සංස්කෘතිය තුළද සංවාද අවසන් වන්නේ ග​මේ අයියලා කසිප්පු ටිකක් කටේ ගාගෙන හැසිරෙන ආකාරයට දෙවෙනි නොවෙමිනි. අවසන් බොහෝවිට තර්ජනයක් හෝ සංවාසවදන් වැලක් එළිය එවීමෙනි. තමාට පෙ​නෙන්න ඉන්නා අනෙකා ඉවසන්න බැරි තරමටම අන්තර්ජාලය තුළදී නොපෙනෙ අනෙකාවද ඉවසන්න හික්මීමක් නැත. ඇත්තේ සුපුරුදු තර්ජනාත්මක කථාය. ඒ නිසාම ඒ තුළ සිදුවන කිසිදු සංවාදයක් ඵලදායි ආස්ථානයක් වෙත විතැන් වීමක් සිදුනොවෙති. එහිදී බරපතල ලෙස පහර කෑමට ලක්වන්නේ දමිළ ජනයාට සිදුවන අසාධාරණයට විරුද්ධව තමන්ගේ මතය ප්‍රකාශ කරන්නන්ය. ශ්‍රී ලංකා භූමිය මතදී ඔවුන්ට ත්‍රස්තවාදී ලේබලය අලවන්නේ යම් සේද ඒ ලෙසම සයිබර් අවකාශය තුළදීද ඔවුන්ට ත්‍රස්ථවාදී ලේබල් අලවති. සෑම අස්සක් මුල්ලක්නෑරම මෙ කාරණා මුල් ඇද ඇත.

ඇමරිකාවේ සිට ඔසාමා බින් ලාඩන්ගේ පුතකු හට තම පියා මැරීම යුධ අපරාධයක් යැයි කිව හැකි වූවද ලංකාවේදී ප්‍රභාකරන්ගේ පුතකු නොව අප විසින් කිව්වොත් ප්‍රභාකරන් ඝාතනය කිරීම යුධ අපරාධයක් යැයි කියා ​සමහර විට මේ ලියන අවසන් ලිපිය වන්නට ඉඩ ඇත. ඒ නිසා ලංකාවේ දී සිදුවී ඇත්තේ සංවාද කිරීමට ප්‍රථම ජීවිතය බේරාගැනීම ගැන දෙපාරක් නොව සියයක් වතාවක් සිතීමටය.

ඒ නිසා යම් කිසිදිනක ලංකා භූමියතුළ ප්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත වීමට නම් ලංකීය ජනසමාජය වසා පවතින නරුම ගතිකයන්ගෙන් ඉවත් වීම අනිවාර්යයෙන්ම  සිදුවිය යුතුය. එසේ නොමැතිව වෙනත් පක්ෂයක් ලංකාවේ පාලන බලයට පැමිණියද මෙහි කිසිදු වෙනසක් බලාපොරොත්තු විය නොහැක. මේ තත්ත්වයෙන් මිදීමටනම්, ජන සමාජයම ආකල්පමය වෙනසකට මුලපිරීමක් කළයුතුය. ​​මානව ප්‍රේමය සමාජය පුරා බෙදාහැරිය යුතුය.

නමුත් ගැටලුව මේවා කියූ ගමන් ගමන් අපව මරා ගන්න එන එකය....

2 comments:

  1. කියලාම වැඩක් නෑ, සහෝදරයා, පට්ටම පට්ට ඇත්ත, ලංකාව කියන්නෙ අද ඒ තරම් අන්තවාදී රටක්.

    ReplyDelete