Thursday, June 16, 2011

තමන් අනෙක් කටිටිය වීම


පසුගිය සඳුදා "අනෙක් කටිටිය" නමින් නමාකරණය  වූ තරුණ කණ්ඩායමක් විසින් "අරගලය අරභමු" මැයෙන් සංවාදයක් මහජන පුස්ථකාලයේදී සංවිධානය කර තිබුණි. වික්‍රමබාහු, වසන්ත සමරසිංහ, ලියනගේ අමරකීර්ති, සුමනසිරි ලියනගේ, ශිරාල් ලක්තිලක, සරත් ප්‍රනාන්දු , ජොසප් ස්ටාර්ලින් යන  විවිධ වූ දේශපාලනික ආස්ථානයන් වල පවුරු බැදසිටින ක්‍රියාදරයන් පිරිසක් සංවාදයෙ සදහා සහභාගී වී තිබුණි. සංවාදයට ප්‍රස්කෘතයන් වී තිබුණේ නොදෙන වැඩි වැටුප, බලෙන් දෙන විශ්‍රාම වැටුප, සරසවි සිසුන්ගේ මිලිටරි පුහුණුව සහ මානව හිමිකම් යනුවෙනි.

ලියනගේ අමරකීර්ති සංවාදය ආරම්භ කරමින් තමන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධ යම්  හරවත්  ප්‍රාවේශය ගත්තද ඉන් පසු අනෙක් කතිකයන් සියල්ලන්ම තමන්ගේ දේශපාලනික මත සංවාදය තුළ වෙන වෙනම ස්ථානගත කිරීමට. තමන් සතු හොදම වදන් භාවිත කරමින් ​සිය කථාවන් පැවත්වූහ. විටින් විට  අනෙක් කට්ටියද පැමිණ තමන්ට බොරැල්ල පොලීසියෙන් සිදුවූ හිරිහැරය හොද හැටි පට්ට ගසමින් එය තමන්ට ඇඩ් එකක් කළගත්හ. කටුනායක බහුතරයක් මෙන්ම ඔවුන්ද හිතන්නේ මේ පොලීසය තමන්ට වද දුන්නේ තමන්ගේ හිතු මතේට බවයි. මහින්ද සේනාධිනායකයා බව ඔවුන්ද සබුද්ධිකව අමතක කරදමති. එසේ නොමැතිව වගීෂ සුමනසේකර මේවා නොදැන ඉන්නට බබාලා නොවේ.

ඔවුන් සංවාදව පුරාම ස්ථීර කරන්න උත්සහ කලේ මහින්ද ආණ්ඩුව තමන්ට දැවැන්ත මර්ධනයක් මුදාහරින බව සහ එයට මුහුණ දීමට පීඩිතයන්ගේ අරගලයක් අවශ්‍ය බවයි. මේ කථාවන් දෙස සබුද්ධිකව කල්පනා කිරීමේ යම් තැකතට​ අප කැදවාගෙන එයි සහ අප අභිමුවේ ප්‍රශ්ණ කීපයක් නිර්මාණය කරයි.  ඉන් පළමු වැන්න මේ සියල්ලන්ටම මහින්ද පාලනයේ මර්ධනය වටහාගෙන ඇත්තේ මේ මොහොතේද??? අනෙක් ප්‍රශ්ණය පීඩිතයින්ගේ අරගලය කඩා විසුරුවා සුනුවිසුනු කර දමන  ලද්දේ කවුරුන් විසින්ද යන්නයි.

මහින්දව පාලන බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ අති දැවැන්ත කාර්යබාරයක් කල මේ සංවාදයේ කතිකයන්ගෙන් බහුතරයක්, මහින්ද පැමිණනෙ ජාතිවාදී මාර්ගයේ අනාගත ඵලවිපාකයන් එදා දුටුවේ නැද්ද??? නැතිනම් ඔවුන් දැක කොලේ වසා සිටියාද යන්නයි. වැටුප් ප්‍රශ්ණයක් එතතුරු විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු සිටියේ කොහෙද??? දමිළ ජනයා දහස් ගණනක් ඝාතනය කරද්දී, ලසන්ත මහපාර මැද මරා දමද්දී, ප්‍රගීත් එකැනැලිගොඩ අතුරුදහන් කර දමද්දී, පොද්දල ජයන්තගේ මහපාර මැද කකුල් කඩද්දී මේ පිරිසගේ ආස්ථානය කොතැනද?? වසන්ත තම කථාව ආරම්භයේදීම පැවසූ දෙයට මා හට නැගආ හිනාව මැඩගෙන සිටියේ ඉතාම අපහසුවෙනි. ඔහු කියන්නේ ජවිපය ඉතිහාසයේ පුරා හරි තැන හිටගත් බවයි. ඔවුන් ලකුණු කරගෙන සිටි හරි තැන දමිළ සංහාරයක් සිදුකිරීමට ආණ්ඩුවක් පත්කිරීමද???  වරක් අන්තරයේ කැදවුම්කරුව සිටි දුමින්ද අරංගලට සමඟ කැලණි විශ්ව විද්‍යාලයේ  නවක වදය සමබන්ධ සංවාදයකට ගිය අවස්ථාවකදී ඔහු දුන්නේ කදිම පිළිතුරකි. අපි කට්ට කාලා ආවේ.... මුනුත් ඒ කට්ට කන්න ඕනේ... එහිදී මාගේ ප්‍රශ්ණය වූයේ වර්තමානය අතීතයේ තට්ට කන්න ඕනේනම්, අතීතයේ දී ඔබලා කළ කාර්යභාරය  කුමක්ද යන්නයි. ඉන්පසු අපට මුහුණ දෙන්නට වූයේ ඉතාම පහත් තත්ත්වයේ ප්‍රතිචාරයන්ටය. දමිළ සොරොහුරන්ගේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනීසිට අපට ඔවුන් දුන් නාමය වූයේ පර දෙමල්ලු යන්නයි.... මේ ජවිපය ඉතිහාසය පුර සිටගත් නිවැරදි තැන්ය.

විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු ද ආණුඩවට දමිළ ජනයා සමූල ඝාතනය කිරීමට පටි තදකර ගත් යටත් පිරිසෙන් එක් කණ්ඩායමකි. එදා ජීවන වියදම ඔවුන්ට බරක් නොවුනිද??? ඇත්තෙන්ම එදා හොදද?? අරගල දෙකක අත්දැකීම් ඇති ජවිපය පීඩිතයින්ගේ අරගලයක් අවැසි බව දකින්නේ දැන්ද??? ඔවුන්ට අනුව උතුරේ අරගලය ධනපතියන්ගේ අරගලයකද??

අප ඉදිරියේ මෙවැනි ප්‍රශ්ණ මාගලක් නිර්මාණය වෙද්දී බාහු දැන් සිටින්නේ ඉවවහා ගිය ප්‍රීතියකිනි. ඒ  ඔහුට අනුව මේ මොහොත කම්කරුවගේ මොහොත බවයි. ඒ නිසාම ඔහුගේ එදා කථාව ගැලරිය පිනවන විමල් වීරවංශගේ කථාවකට දෙවැනි නැත. ඇත්තෙන්ම බාහු කවදත් සිටින්නේ මේ මොහොත අමතක කරමිනි. පීඩිතයාගේ මොහොත උතුර තුළ විනාශ කිරීමෙන් පසු තවම ලංකාව තුළ කම්කරුවාගේ මොහොත පැමිණ නැත. ඒ මෙහොත නිර්මාල් දේවසිරි කියනා ආකාරයට මෙන් මෙය ඔහේ යන්න දී පැමිණෙන්නේ නැත ඒ වෙනුවෙන් තව බාහුලා අත නොතැබූ වැඩ රාශියක් කිරීමට තිබේ. උදාහරණ ලෙස බාහුලාගේ ආමන්ත්‍රණ භාෂාව පවා වෙනස් කරගත යුතුව ඇත. 

විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන පුහුණුවට තමන් යුධ යන වචනය පාවිච්චි නොකරන බව කියූ ශිරාල් ලක්තිලක තමන්ගේ උත්තම නායකයා වන සජිත් ප්‍රේමදාස සහ මහින්ද අතර වන අවබෝධතාවය එතැනදීද රැකත්තේය. අනෙක් කරුණ අරගලය ආරම්භ කරන්නට යන්නේ ශිරාල් ලක්තිලක වැන්නන් සමගන් ඔහු එතැනද ගේමක් ගසනු නොඅනුමානය.

සරත් ප්‍රනාන්දු සහ ජෝසප් ස්ටාර්ලින් සුපුරුදු ලෙසම සිය දේශණයන් ගිරිය පුප්පමින් තමන්ටවත් නොතේරෙනා භාෂාවෙන් කරන ලදී.

සමස්ථයක් ලෙස ඔවුන් සියලු දෙනා සිටින්නෙ යම් ප්‍රමෝධයකිනි. අනෙක් කටිටය සිටියේද ඒ ප්‍රමෝදයේ ගිලෙමිනි. ඒ ප්‍රමෝදය නිසාම මේ මොහොත අමතක කරමින් තමන්ගේ ආස්ථායන් සපත කරගැනීමේ ව්‍යාපෘතියක නියැලුනි. අරගයක් ආරම්භය පේනතෙක් මානයේ අසලටවත් සංවාදය ගියේ නැත. මේ මොහොතේ අවශ්‍ය සංවාදය උතුරේ අරගය සමග දකුණේ අරගලය අමුණන්නේ කෙසෙද යන්නයි. එයට අවශ්‍ය නැවුම් ක්‍රමවේදයන් සොයාගැනීමයි. නව දර්ශණයක් ඒ වෙනුවෙන් බිහිකිරීමයි. ඒ වෙනුවට සිදුවූයේ සියල්ලන්ම අනෙක් කටිටිය වී ප්‍රශ්ණය තවම ගේට්ටුව ළග නිසා එයින් ප්‍රමෝද ගත වීමයි. නමුත් ඔවුන් නොදන්න දේ හෝ දැක අහක බලා සිටිනා දේ ප්‍රශ්ණය තමන්ගේ දෙපතුලෙන් උඩටත් පැමිණ ඇති බවයි.

1 comment:

  1. ප්‍රමෝදය නරක දෙයක් නෙමේනෙ සාතන්. මේ ඔබේ ප්‍රමෝදය නෙමෙයිද?
    ලිපියේ ගොඩක් තැන් වලට එකඟයි. නමුත් 'අරගලය ඇරඹීම' කෙසේවෙතත් කිසිම දෙයක් නැති තැනක මෙහෙම සංවාදයක්(?)වත් පැවැත්වීම ලොකු දෙයක්.

    ReplyDelete